රත්මලාන ගුවන්තොටුපලින් කලාපීය ගුවන් මෙහෙයුම්

සැප් 15, 2020

    රත්මලාන ගුවන්තොටුපලින් මාලදිවයින හා දකුණු ඉන්දියානු ගමනාන්ත ඉලක්ක කර කලාපීය ගුවන් මෙහෙයුම් ඇරඹීමට තීරණය කෙරේ. ඊට අඳාලව දැනටමත් ජාත්‍යන්තර ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    1935 ඇරඹුණු රත්මලාන ජාත්යසන්තර ගුවන්තොටුපල මෙරට පළමු ජාත්‍යන්තර ගුවන්තොටුපලයි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අගනුවර වන කොළඹ නගරයේ සිට කිලෝ මීටර් 14ක දුරින් මෙය පිහිටා තිබේ.

    වාණිජ මගී ගුවන්යානා, ගුවන්සේවා පුහුණු පාසල්, ජාත්‍යන්තර ආයතනික ජෙට් යානා, ප්‍රභූන් හා විශේෂ අමුත්තන්ගේ ගමන් බිමන්, ජාතික අර්බුදකාරී අවස්ථාවන්හිදී මානුෂීය මෙහෙයුම් හා ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම් ද ඇතුළුව දේශීය ගුවන්සේවා කේන්ද්‍රස්ථානය ලෙස රත්මලාන ගුවන්තොටුපල දිනකට ගුවන්යානා මෙහෙයුම් 75ක් පමණ ක්‍රියාත්මක කරයි.

    රත්මලාන ගුවන්තොටුපල තුල ජාත්‍යන්තර මෙහෙයුම් වැඩි කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ආයතනික හා ව්‍යාපාරික ජෙට්යානා සඳහා පහසුකම් සැපයීම, දේශීය සිවිල් හා වාණිජ මෙහෙයුම් වැඩිකිරීම, කලාපීය ගුවන් මෙහෙයුම් සඳහා ඇති ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මාලදිවයින හා දකුණු ඉන්දියානු ගමනාන්ත සඳහා ගුවන් මෙහෙයුම් ඇරඹීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

    ඒ අනුව රත්මලානේ ගොඩබස්සවනු ලබන ජාත්යටන්තර ගුවන් යානා වසරක කාලයක් සඳහා ගොඩබෑමේ හා නතර කර තැබීමේ ගාස්තු වලින් සම්පූර්ණයෙන්ම නිදහස් කිරීමට තීරණය කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඊට අදාලව ගැසට් නිවේදනය ද පසුගිය දා (08) ප්‍රකාශයට පත් කෙරිණ.

    මීට අමතරව රත්මලාන ගුවන්තොටුපලට පැමිණෙන ජාත්‍යන්තර ගුවන්යානා සඳහා සහන මිල ගණන් යටතේ ඉන්ධන ලබාදීමටත් රත්මලාන ගුවන්තොටුපලේ ගුවන්තොටුපල අපගමන බද්දෙන් 50%ක මුදලක් වසරක කාලයක් සඳහා නිදහස් කිරීමටත් කැබිනට් මණ්ඩලය අනුමැතිය පල කල බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    රත්මලාන අවට කලුබෝවිල, දෙහිවල, රත්මලාන හා ගල්කිස්ස වැනි ප්‍රදේශ වල මාලදිවයිනේ සිට පැමිණි 9000කට ආසන්න පිරිසක් මෙරට වෛද්‍ය ප්‍රතිකාර අධ්‍යාපන කටයුතු, රැකියා හා වෙනත් අවශ්‍යචතාවන් සඳහා රැඳී සිටින බව අනාවරණය වී තිබේ.

    දකුණු ඉන්දියාවෙන් පැමිණෙන බොහෝ දෙනෙකු ද දෙහිවල, බම්බලපිටිය හා වැල්ලවත්ත වැනි ප්‍රදේශවල රැඳී සිටිමින් විවිධ සේවාවන් ලබාගනී.

    මේ නිසා මාලදිවයින හා දකුණු ඉන්දියානු ගුවන් මගීන් ඉලක්ක කරගනිමින් ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට වැඩි අවධානයක් යොමු වූ බව ඇමතිවරයා සඳහන් කරයි.

    මේ සම්බන්ධයෙන් මාලදිවයින් ගුවන් සමාගම (Maldivian AIR) සහ විලා ගුවන් සමාගම (Villa AIR) දැනටමත් සාකච්ඡා කර තිබේ.

    දකුණු ඉන්දීය ගමනාන්තයන් සඳහා ගුවන් ගමන් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද ගුවන් සමාගම් කිහිපයක් සමඟ ද සාකච්ඡා කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ඉතා ඉක්මනින් රත්මලාන ගුවන්තොටුපලේ සිට කලාපීය ගුවන් ගමන් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටී.

    Latest News