කොවිඩ් -19 ගැන සතිපතා දැනුවත් කිරීමක්

සැප් 11, 2020

    ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්වය හා නිවාරණය පිළිබඳ යලිත් වැඩි වශයෙන් මහජන අවධානය යොමු කර ගැනීම උදෙසා වැඩපිලිවෙලක් ඇරඹීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කරයි.

    එම වැඩපිලිවෙලේ එක් පියවරක් ලෙස සතිපතා ප්‍රවෘත්ති සාකච්ජාවක් පවත්වා මාධ්‍යවේදීන් දැනුවත් කරන ලෙස වැඩබලන සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තමාට ඊයේ (10) පැවති සාකච්ජාවක දී උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පවසයි.

    වසංගත රෝග විද්‍යා අංශය ඇතුළුව සියලු වගකිවයුතු ආයතන මෙම ප්‍රවත්ති සාකච්ජාවට එක්වනු ඇත.

    සතියේ නිශ්චිත දිනයක සහ වේලාවකදී මෙම විශේෂ කොවිඩ් -19 ප්‍රවත්ති සාකච්ජාව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේදී පැවැත්වේ.

    ලබන සතියේ සිට මෙම ප්‍රවත්ති සාකච්ජා මාලාව ඇරඹේ. කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය හා නිවාරණය ආශ්‍රිතව පැනනගින ගැටලු විමසා පිළිතුරු ලබාගැනීමට මාධ්‍යවේදීන්ට වැඩි අවස්ථාවක්ද මේ නිසා උදාවනු ඇත.

    කොවිඩ් -19 නිවාරණය පිළිබඳව අඩු වැඩි වශයෙන්, කෙමෙන් අමතකව යාමේ ලක්ෂණ ශ්‍රී ලාංකේය සමාජයේ පෙන්නුම් කරමින් පවතින බවද අධ්‍යක්ෂවරයා පවසයි.

    මේ තත්වය රටක් වශයෙන් එතරම් යහපත් ප්‍රවණතාවක් නොවන බැවින් යලිත් මහජන අවධානය වැඩි වශයෙන් කොවිඩ් -19 නිවාරණය පිලිබදව යොමුකර ගැනීම අත්‍යවශ්‍ය බව අවධාරණය කෙරේ.

    මේ දක්වා ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 ව්‍යාප්තිය සාර්ථක ලෙස පාලනය කිරීමට හැකිවූයේ මහජනතාව ලබාදුන් අනගි සහාය නිසා බවද ඒ මහතා පෙන්වාදෙයි.

    Latest News