රාජිත සේනාරත්න ඇතුළු තිදෙනෙකුට සිතාසි

සැප් 07, 2020

    අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු තුන්දෙනෙකුට ඔක්තෝම්බර් මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණය විසින් සිතාසි නිකුත් කළා.

    අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍ර සලකා බැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් එම සිතාසි නිකුත් කිරීම සිදු කළා.

    මෙසේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබෙන සෙසු විත්තිකරුවන් ලෙස ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි කළමනාකාර අධ්‍යක්ෂ නිල් රවීන්ද්‍ර මුණසිංහ යන අය නම් කර තිබෙනවා.

    2014 වසරේ අගෝස්තු මස පලවනදා සහ එම වසරේ නොවැම්බර් මස පළවන දා අතර කාලසීමාව තුළ මෝදර ධීවර වරාය සී ගල්ෆ් වූ. කේ ප්‍රයිවට් ලිමිටඩ් නැමැති සමාගම වෙත අඩු මුදලකට බදු දීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙළඹවීම තුළින් රජයට පාඩුවක් සිදුකල යැයි චෝදනාකොට එවක ධීවර අමාත්‍ය ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව චෝදනා පහක් යටතේ අල්ලස් කොමිසම මෙම අධිචෝදනා පත්‍රය ගොනු කර තිබෙනවා.

    මෙම ක්‍රියාව තුළින් විත්තිකරුවන් අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ සඳහන් දූෂණය නැමැති වරද සිදු කර ඇති බවයි මෙම අධිචෝදනා පත්‍රය තුළින් සඳහන් කර තිබෙන්නේ.

    මෙම අධි චෝදනා පත්‍රයේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 17 දෙනෙකු නම් කර ඇති අතර නඩු භාණ්ඩ ලෙස ලේඛන 55 ක් ද නම් කර තිබෙනවා

    Latest News