ඇවන්ගාඩ් නඩුවේ විභාගය අදත්

සැප් 07, 2020

    ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යම් සිද්ධිය සම්බන්ධයෙන් ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තා.

    ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වෙනවා.

    අද නඩු විභාගයේ දී මෙම නඩුවට පාදක වන ඇවන්ගාඩ් නෞකාව අත්අඩංගුවට ගැනීම සිදු කළ සාක්ෂිකාර නාවික හමුදා රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල මහතාගෙන් විත්තියේ නීතිඥවරුන් විසින් හරස් ප්‍රශ්න විමසීම සිදු කළා.

    විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සදහන් කර සිටියේ 2015 වසරේ එවක නාවික හමුදාපතිවරයා ගෙන් ලැබුණු විධානයක් පරිදි ඇවන්ගාඩ් නෞකාව අත්අඩංගුවට ගත් බවයි.

    අදාළ නෞකාව සම්බන්ධයෙන් සැකකටයුතු තත්ත්වයක් උද්ගත වීම නිසා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි සාක්ෂිකරු කියා සිටියේ.

    නඩු විභාගය අතරවාරයේදී ඇවන්ගාඩ් සමාගමේ සභාපති විත්තිකාර නිශ්ශංක යාපා සේනාධිපති මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති ඉතින් කුවේර ද සොයිසා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව දේශපාලන පලිගැනීමක් සිදු කිරීම සඳහා ද්වේශ සහගත අරමුණකින් ගොනු කර ඇති බවට චෝදනා කළා.

    2012 වසරේ නාවික හමුදාවේ ඇතැම් නිලධාරීන් විසින් සිදුකළ අක්‍රමිකතා හේතුවෙන් පෞද්ගලික වෙළෙඳ නැව්වලට ජාත්‍යන්තර මුහුදේ දී ආරක්ෂාව සැපයීමේ කාර්යභාරය ඇවන්ගාඩ් සමාගම වෙත පැවරීමට එවක නාවික හමුදාපති වරයා පියවර ගත් බව සඳහන් කළ ජනාධිපති නීතිඥ සොයිසා මහතා එම ක්‍රියාවට එරෙහිවු නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් හේතුවෙන් මෙම නඩුව නිර්මාණය වී ඇති බවයි කියා සිටියේ.

    වැඩිදුර නඩු විභාගය හෙට දිනට කල් තැබුණා.

    2012 වසරේ ගාලු වරායට ආසන්න බේරුවල මුහුදු තීරයේ එම්.වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ගිනිඅවි 816 ක් සහ උණ්ඩ 203395 ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම චෝදනා 19 ඉදිරිපත් කර තිබේ.

    Latest News