හිටපු ඇමති පාඨලීගේ නඩුව යළි සැප්තැම්බර් 17 කැඳවේ

අගෝ 28, 2020

    හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ ඉදිරි පියවර සලකා බැලීම සඳහා එය සැප්තැම්බර් මස 17 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

    ඒ, 2016 වසරේ වැලිකඩ පොලිස් වසම තුළ දී අපරීක්ෂාකාරී සහ නොසැලකිලිමත් ලෙස රිය පදවා තරුණයකු බරපතළ අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මතයි.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, එම අමාත්‍යවරයාගේ රියදුරු ලෙස ක්‍රියා කළ දිලුම් තුසිත කුමාර සහ සිද්ධිය වූ වකවානුවේ වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස ක්‍රියා කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියා.

    ඉන් අනතුරුව දිලුම් තුසිත කුමාර සහ සුදත් අස්මඩල විත්තිකරුවන්ට අදාළව පෙර නියම කළ ඇපයට අදාළ කොන්දේසි සපුරා ඇති ආකාරය විනිසුරුවරයා විසින් සලකා බැලුවා.

    ඉන් අනතුරුව නඩුවේ ඉදිරි පියවර පිළිබඳව සලකා බැලීම සඳහා එය සැප්තැම්බර් මස 17 වනදා කැඳවන ලෙසයි මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කළේ.

    මෙම විත්තිකරුවන් තිදෙනාට ඉකුත්දා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දී තිබූණා.

    2016 වසරේ පෙබරවාරි මස 28 වනදා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් පැදවූ ජිප් රථයක් මඟින් සංදීප් සම්පත් නමැති තරුණයකුට බරපතළ අනතුරක් සිදු කිරීම, බොරු සාක්ෂි සෑදීම, සාක්ෂි අතුරුදන් කිරීම සහ රිය අනතුරක් සිදු කළ පාඨලී චම්පික රණවක නමැති සැකකරු නීතියානුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණය වෙත වැරදි වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළු අධිචෝදනා 16 ක් යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

    Latest News