හිටපු ඇමති රාජිත සේනාරත්න ඇතුළු දෙදෙනෙකුට අධිචෝදනා භාරදෙයි (වීඩියෝ)

අගෝ 28, 2020
  • හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි මොහොමඩ් අසීම් යන මහත්වරුන්ට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දුන්නා.

    ඒ, පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව පවත්වා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අසත්‍ය චෝදනා එල්ල කළේ යැයි චෝදනා කරමිනි.

    කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ එම විත්තිකරුවන්ට නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්‍ර භාර දෙනු ලැබුවා.

    ඉන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් 10,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා ඇපකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ළඟම ඥාතියෙකු විය යුතු බවටද නියම කළා.

    ඇපකරුවන් මෙම අධිකරණ බල ප්‍රදේශය තුළ පදිංචි බවට තහවුරු කෙරෙන ග්‍රාම සේවා සහතික ඉදිරිපත් කළ යුතු බවටත් ඔවුන් අපරාධ ක්‍රියාවලට සම්බන්ධ නොමැති බව තහවුරු කෙරෙන පොලිස් වාර්තා ඉදිරිපත් කළ යුතු බවට ද විනිසුරුවරයා නියෝග කළා.

    ඉන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනාගේ ඇඟිලි සලකුණු ලබාගන වාර්තාවක් කැඳවන ලෙසද විනිසුරුවරයා නියෝග කර සිටියා.

    අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව අධිකරණය හමුවේ ඉල්ලීමක් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මෙම නඩුවේ විත්තිකරුවන් මුල් අවස්ථාවේදී අධිකරණය මඟහරිමින් ක්‍රියා කර ඇති හෙයින් ඔවුන් නඩු විභාගය සඳහා නොකඩවා පෙනීසටීම තහවුරු කරගැනීම සඳහා ඔවුන්ට පොලිසිය වෙත වාර්තා කළ යුතු බවට කොන්දේසියක් පනවන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

    එවැනි කොන්දේසියක් අවශ්‍ය නොවන බව සඳහන් කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකරුවන් දෙදෙනාගේ විදේශ ගමන් තහනම් කළ අතර ඒ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා දැනුවත් කරන ලෙසද නියෝග කළා.

    ඉන් අනතුරුව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා තවත් ඉල්ලීමක් ඉදිරිපත් කරමින් මෙම නඩුවේ සාක්ෂි වශයෙන් නම් කර තිබෙන මාධ්‍ය ආයතන හතරකින් ලබාගත් වීඩියෝ දර්ශන අඩංගු සංයුක්ත තැටි මේ වන විට මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින බවත් ඒවා ගෙන්වාගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.

    එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා දැනට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින එම සංයුක්ත තැටි මහාධිකරණය වෙත ගෙන්වා ගන්නා ලෙස එහි රෙජිස්ට්‍රාර් වරයාට නියෝග කළා.

    ඉන් අනතුරුව නඩුව නැවත සැප්තැම්බර් මස 22 වනදා කැඳවන ලෙසයි විනිසුරුවරයා නියෝග කළේ.

    ඉකුත් වසරේ නොවැම්බර් 10 වනදා කොළඹ පැවති අදාළ මාධ්‍ය සාකච්ඡාව හරහා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කිරීමේ අරමුණින් බොරු සාක්ෂි නිර්මාණය කිරීම , ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය සහ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා පත්‍රය ගොනු කර තිබේ.

    අදාළ මාධ්‍ය සාකච්ඡාවට බොරු රැවුල් පැළඳගෙන ව්‍යාජ වෙස් ගනිමින් ඉදිරිපත් වූ ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු යන නමින් පෙනී සිටි සකලවල්ලි ආරච්චිගේ සරත් කුමාර නැමැත්තා සුදුවෑන් යොදාගනිමින් පුද්ගලයින් පැහැර ගැනීමේ සිද්ධීන්වලට එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු බවට ව්‍යාජ ප්‍රකාශ සිදු කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධි චෝදනා පත්‍රයේ සඳහන් කර තිබුණි.

    එමෙන්ම අදාළ මාධ්‍ය සාකච්ඡාවට එක් වූ අතුල සංජීව මදනායක නමැත්තා කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් නැමැත්තාට අයත් රන් තොග කොල්ලකෑම, සුදු වෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් මරා දැමීම යනාදී ක්‍රියාවන්ට තමාද සම්බන්ධ වූ බවට අසත්‍ය ප්‍රකාශ සිදුකර වැරදි තොරතුරු සමාජගත කර තිබූ බවද එම චෝදනාවලින් සඳහන් කර ඇත.

    මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වීම සම්බන්ධයෙන් මුලදී සැකකරුවන් වශයෙන් නම් කර සිටි සකලවල්ලි ආරච්චිගේ සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන දෙදෙනා මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබීම විශේෂත්වයකි.

    Last modified on සිකුරාදා, 28 අගෝස්තු 2020 20:27

    Latest News