පාඨලීගේ රිය අනතුරු නඩුවේ සෙස විත්තිකරුවන්ටත් අධිචෝදනා

අගෝ 20, 2020

    හිටපු ඇමති පාඨලී චම්පික රණවකට එරෙහිව ගොනු කර ඇති නඩුවේ සෙසු විත්තිකරුවන් දෙදෙනාට අධිචෝදනා බාරදෙයි.

    2016 වසරේ අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයෙකු බරපතළ රිය අනතුරකට ලක් කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම් කර සිටින ඒ මහතාගේ රියදුරු වන දිලුම් තුසිත කුමාර සහ සිද්ධිය වූ වකවානුවේ වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන මහත්වරුන්ට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දුන්නා.

    කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ මෙම අධි චෝදනා පත්‍ර භාරදීම සිදුවුණා.

    ඉන් අනතුරුව එම විත්තිකරුවන් දෙදෙනාම රුපියල් 10,000/- ක් බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළා.

    විත්තිකරුවන් විදේශ ගත වන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කර පූර්ව අනුමැතිය ලබාගත යුතු බවද විනිසුරුවරයා ඔවුන්ට නියෝග කළා.

    මෙම ඇප කොන්දේසි සපුරාලන තුරු විත්තිකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ පුද්ගලික බැඳුම්කරයක් මත මුදා හරින ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා විසින් නියෝග කරනු ලැබුවා.

    ඉන් අනතුරුව එම විත්තිකරුවන් දෙදෙනාට මේ මස 28 වනදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

    මෙම නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද දින පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වන හෙයින් ඒ මහතාට ලබන 28 වනදා අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් ඊයේ අවසර ලබාදී තිබුණා.

    2016 වසරේ පෙබරවාරි මස 28 වනදා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් පැදවූ ජිප් රථයක් මඟින් සංදීප් සම්පත් නමැති තරුණයකුට බරපතළ අනතුරක් සිදු කිරීම, බොරු සාක්ෂි සෑදීම, සාක්ෂි අතුරුදන් කිරීම සහ රිය අනතුරක් සිදු කළ පාඨලී චම්පික රණවක නමැති සැකකරු නීතියානුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණය වෙත වැරදි වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළු අධිචෝදනා 16 ක් යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

    Latest News