නව වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේ පළමු රැස්වීම (වීඩියෝ)

අගෝ 20, 2020
  • මහමැතිවරණයෙන් අනතුරුව රැස්වෙන නව වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අද (20) ආරම්භ විය.

    පෙ.ව. 09.30ට වේත්‍රධාරී සෙන්කෝලය තැන්පත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳ ජනාධිපතිතුමා නිකුත් කළ නිවේදනය පාර්ලිමේන්තු මහලේකම්තුමා විසින් සභාවට ඉදිරිපත් කළේය.

    අනතුරුව පළමු රැස්මේ දී නව වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා නම් කර තෝරාපත් කර ගනු ලැබිණි. ඒ මහතාගේ නම අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් යෝජනා කළ අතර එය විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ස්ථිර කරනු ලැබුවේය.

    අභිනව කථානායක වරයා ලෙස සිය දිවුරුම සිදුකිරීමෙන් අනතුරුව සියලුම මන්ත්‍රීවරුන්ගේ නිල දිවුරුම සහ ප්‍රතිඥාව සිදු කළහ. ඉන් අනතුරුව අභිනව පාර්ලිමේන්තුව වෙනුවෙන් පක්ෂ නායකයින්ගේ සුභාසිංසන එක් කිරීම සිදු විය.

    අනතුරුව, නියෝජ්‍ය කතානායක ලෙස රංජිත් සියඹලාපිටිය මහතා නම් කර තෝරා පත් කර ගැණින. ඒ මහතාගේ නම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් යෝජනා කළ අතර අමාත්‍ය නිමල් ලංසා මහතා විසින් එය ස්ථිර කළේය.

    අනතුරුව, නියෝජ්‍ය කාරක සභා සභාපති ධූරය සඳහා අංගජන් රාමනාදන් මහතා තේරී පත්විය. ඒ මහතාගේ නම අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් යෝජනා කළ අතර අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් එය ස්ථිර කළේය.

    අභිනව පාර්ලිමේන්තුව සඳහා ජනාධිපතිතුමාගේ සුභාසිංසන සහිත නිවේදනය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සභාවට ඉදිරිපත් කළේ ඉන් අනතුරුවයි.

    සභානයක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාත්, ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත්, විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතාත් නම් කර ඇති බව කථානායකවරයා සභාවට ඉදිරිපත් කළේය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මෙතෙක් නමක් යෝජනා නොවීය.

    අනතුරුව පස්වරු 3.00 දක්වා සභාව කල් තබමින් කථානායකවරයා පක්ෂ නායක හමුවක් කැඳවිය.

    සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් පාර්ලිමේන්තු ලේඛණයේ අත්සන් තැබීමද සිදුවනු ඇත.

    9 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් ආරම්භ කිරීම පස්වරු 3.00ට සිදුවේ.

    පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව මීට පෙර රාජ්‍ය නායකයින් වෙත සිදු කළ ආචාර වෙඩිමුර, හමුදා උත්තමාචාර ආදිය මෙවර නොපැවැත්වන නමුත් අභිමානවත්ව සංස්කෘතික වටිනාකම්වලට මුල්තැන දෙමින් පාර්ලිමේන්තු පිවිසුම් දොරටුව අසළ දී ජයමංගල ගාථා ගයමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමෙන් අනතුරුව අභිනව කතානායකවරයා විසින් ජනාධිපතිවරයා සභාගැබට කැඳවාගෙන යාමට නියමිතයි.

    ඉන් අනතුරුව ජනාධිපතිතුමන් විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදුවනු ඇත.

    පෙරවරුවේ පාර්ලිමේන්තු සභාගර්භය තුළ වම්පස විපක්ෂයද, දකුණු පස ආණ්ඩු පක්ෂයද වශයෙන් අසුන් ගැනීම සිදුවූ අතර සවස් භාගයේ ජ්‍යෙෂ්ඨත්වය අනූව ආසන පිළිගැන්වෙනු ඇත. එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජන බල පක්ෂය වෙනුවෙන් හිස්ව ඇති ආසන දෙක තවදුරටත් හිස්ව පවතින බවත් මේ දක්වා එම ආසන වෙනුවෙන් කිසිම තීරණයක් ගෙන නොමැති බවත් ඉතිරි ආසන 223ම සූදානම් බවත් වාර්තාවේ.

    කෝවිඩ් මාර්ගෝපදේශ අනූව සභාගර්භය තුළ සියලුදෙනාගේ හැසිරීම අනිවාර්ය වන අතර, මුඛ ආවරණ පැළදීම, මීටරයේ දුර පවත්වා ගැනීම සිදුකළ යුතු අතර සියලුදෙනා සෞඛ්‍ය උපදේශ අනූව සෞඛ්‍යාරක්ෂිත ලෙස කටයුතු කිරීමට වගබලාගත යුතු අතර කණ්ඩායම් සාකච්ඡා කිසි ලෙසකින් හෝ නොපැවැත්විය යුතු බවද වාර්තාවේ.

    මෙවර පාර්ලිමේන්තුවට අමුත්තන් කැඳවීම ද සීමා කර ඇති අතර කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවලට මුල්තැන දෙමින් සියලු කටයුතු සිදු කෙරේ.

    පසුගිය දා පැවැති මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට කිසිදු ආසනයක් ජය ගැනීමට නොහැකි වූ අතර මෙවර පාර්ලිමේන්තුවට ඇත්තේ එක් ජාතික ලැයිස්තු නියෝජනයක් පමණි. පාර්ලිමේන්තු ඉතිහාසය තුළ කිසිදු ආසනයක් එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව තුළ නියෝජනය නොකරන්නේ ද මෙම නව වැනි පාර්ලිමේන්තුවේ වීම විශේෂත්වයයි.

    මහමැතිවරණයට ඉදිරිපත් වූ සමඟි බලවේගය මෙවර විපක්ෂයේ වැඩි ආසන සංඛ්‍යාවක් ලබාගනිමින් පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 අගෝස්තු 2020 19:54

    Latest News