ජයග්‍රහණය මුළු රටේම විජයග්‍රහණයක් බවට පත් කිරීම තම පක්‍ෂයේ අධිෂ්ඨානයයි - අගමැති

අගෝ 07, 2020

    ජයග්‍රහණය මුළු රටේම විජයග්‍රහණයක් බවට පත් කිරීම තම පක්‍ෂයේ අධිෂ්ඨානය බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    නියම විජයග්‍රහණයක් උපදින්නේ අභියෝග මතින් බව අග්‍රාමාත්‍යවරයා කියා සිටී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීම නිමිත්තෙන් නිකුත් කළ පණිවුඩයේ මේ බව සඳහන්වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැතිවරණයෙන් අතිවිශිෂ්ට ඓතිහාසික ජයග්‍රහණයක් ලබා තිබේ. තම පක්‍ෂය කෙරෙහි විශ්වාසය තබා එවැනි අතිවිශිෂ්ට ජයග්‍රහණයක් වෙනුවෙන් ඡන්දය භාවිත කළ සියලු දෙනාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රණාමය පුද කරන බව, අග්‍රාමාත්‍යවරයා පවසයි.

    මෙම විශිෂ්ට ජයග්‍රහණය රට ලැබූ ජයග්‍රහණයක්. කොවිඩ් 19 වසංගතය නිසා මුළු ලෝකයම අකර්මන්‍ය වී ඇති වකවානුවක, ආණ්ඩුව ජනතාව කෙරෙහි විශ්වාසය තබා මැතිවරණය පැවැත්වීමට තීරණය කළේය. මේ රටේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 70%කටත් වඩා ඡන්ද පොළට පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කළ බව, මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කරයි. කෙතරම් අසීරු තත්වයකදී වුවද, ප්‍රජාතන්ත්‍රවාදීව, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ක්‍රියා කිරීමට ජනතාව ඉදිරිපත්වීම රටක් ලෙස සළකා සතුටු විය හැකි කාරණයක්.

    එමෙන්ම මෙබඳු වසංගත තත්වයක් හමුවේ මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී තීරණයක් රැගෙන එය ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වූ ලොව රටවල් ඇත්තේ අතලොස්සක් පමණි. ශ්‍රී ලංකාව ද එබඳු තීරණයක් ගත් රටක්. ඡන්දය භාවිත කිරීමට පැමිණි සියලු ජනතාවගේ සෞඛ්‍යාරක්‍ෂාව වෙනුවෙන් ලෝක සෞඛ්‍ය නිර්දේශ ඉටු කරමින් ඡන්දය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සෞඛ්‍ය අංශ සේම ආරක්‍ෂක අංශවලට හා රාජ්‍ය නිලධාරීන්ට හැකියාව ලැබිණ.

    යුද්ධය ජය ගැනීම, කොවිඩ් 19 වසංගතය ජය ගැනීම වැනි කරුණු සේම, ඉතා සාර්ථක මැතිවරණයක් පවත්වා, අප ලෝක ප්‍රජාවට රටේ ශක්තිය හා ජනතාවගේ ශක්තිය පෙන්නුම් කළ බව, මැතිවරණ ජයග්‍රහණය ජාතියේ ආත්ම විශ්වාසය යළි ගොඩනංවන ජයග්‍රහණයක්.

    ජනාධිපතිතුමා ඉදිරිපත් කළ “සෞභාග්‍යයේ දැක්ම“ මේ රට තුළ තහවුරු කිරීමට හැකි බව, මෙම මැතිවරණය සාර්ථක කර ගැනීමෙන් ලෝකයට ඔප්පු කොට තිබේ. මෙවර මැතිවරණයේදී ඡන්දය දුන් සියලු ජනතාවටත් මැතිවරණයේ සාර්ථකව හා සාමකාමීව පැවැත්වීමට සහය වූ මැතිවරණ කොමිෂන් සභාවටත්, ආරක්‍ෂක අංශවලටත්, රජයේ නිලධාරීන් සියලු දෙනාටත්, සියලුම මාධ්‍යයන්ටත්, මැතිවරණ නිරීක්‍ෂකයින්ට සහ මුළුමහත් ජනතාවටත් තම ස්තූතිය පුදකරන බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    Last modified on සිකුරාදා, 07 අගෝස්තු 2020 18:45

    Latest News