“අගොඩ ලොක්කා” ඉන්දියාවේ දී මියගොස් (වීඩියෝ)

අගෝ 03, 2020
  • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන චන්දන ලසන්ත පෙරේරා නොහොත් “අගොඩ ලොක්කා” ඉන්දියාවේ දී මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

    ව්‍යාජ හැඳුනුම්පතක් සාදා ඔහුගේ සිරුර එම රටේදී ආදාහනය කර ඇති බව ද හෙළිවී තිබේ. ඔහු පසුගිය වසර 03ක පමණ කාලයක් ඉන්දියාවේ සැඟව සිට ඇති බව එම මාධ්‍ය වාර්තා පවසයි.

    කොයිම්බතූර් පොලිසිය උපුටා දක්වමින් “නිව් ඉන්දියන් එක්ස්ප්‍රස්” පුවත්පත පවසන්නේ, අංගොඩ ලොක්කා ජූලි 03 වැනිදා අභිරහස් අන්දමින් මියගොස් ඇති බවයි. ව්‍යාජ හැඳුනුම්පතක් සෑදීම සම්බන්ධයෙන් ඊයේ පුද්ගලයින් තිදෙනෙකු එරට කොයිම්බතූර් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ශ්‍රී ලාංකිකයෙකු ද ඒ අතර වන බව සඳහන්.

    අත්අඩංගුවේ පසුවන තිදෙනා අතර සිටින ශ්‍රී ලාංකික කාන්තාව අංගොඩ ලොක්කා සමඟ එරට වාසය කර ඇති බව එම මාධ්‍ය වාර්තා පවසයි. අසාධ්‍ය තත්වයට පත්වූ අංගොඩ ලොක්කා ජූලි 03 වැනිදා කොයිම්බතූර් වෛද්‍ය විද්‍යාලීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ආර් ප්‍රදීප් සිං නමැති ව්‍යාජ නමක් භාවිත කර 35 හැවිරිදි පුද්ගලයෙකු ලෙස හුවා දක්වමින් ඔහුව රෝහල් ගතකර ඇති බව පැවසේ. ඔහුගේ මරණය අස්වාභාවික එකක් ලෙස ලේඛනගත වී ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.

    ඔහුගේ දේහය ඉකුත් ජූලි 04 වැනිදා මදුරෙයිහිදී ආදාහනය කර ඇති බව කොයිම්බතූර් පොලිසිය හෙළි කරගෙන තිබේ. ව්‍යාජ හැඳුනුම්පතක් සහ පුරවැසි සහතික උපයෝගි කර ගනිමින් අංගොඩ ලොක්කා කොයිම්බතූර් වෙත පැමිණ ඇත්තේ මීට වසර 03කට පමණ ඉහතදීය.

    ඒ සඳහා අත්අඩංගුවේ පසුවන එක් කාන්තාවක් හා තවත් පුද්ගලයෙකු සහය දක්වා තිබේ. ඉන්දියාවට පලාගොස් සිටි අමානි ධනංජි නමැති ශ්‍රී ලාංකික කාන්තාව ඉකුත් මාර්තු මාසයේ සිට අංගොඩ ලොක්කා සමඟ කොයිම්බතූර් ප්‍රදේශයේ වාසය කර ඇති බව ද පොලිසිය හෙළිකර ගෙන තිබේ. චෝදනා ගණනාවක් යටතේ අත්අඩංගුවේ පසුවන තිදෙනාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියාකර ඇති බව කොයිම්බතූර් පොලිසිය පවසයි.

    Last modified on සදුදා, 03 අගෝස්තු 2020 20:24

    Latest News