ජනපතිගෙන් මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විදුහලට ජංගම පුස්තකාලයක් (වීඩියෝ)

අගෝ 03, 2020
  • ශිෂ්‍යාවක් කළ ඉල්ලීමක් ඉටු කරමින් මැදිරිගිරියේ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් අද ජංගම පුස්තකාලයක් පරිත්‍යාග කරනු ලැබීය.

    ඒ ජනාධිපති කාර්යාලයේදී. පසුගිය ජූලි 05 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා මැදිරිගිරිය ප්‍රදේශයේ චාරිකාවක නිරත විය. එහිදී මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ 03 ශ්‍රේණියේ ඉගෙනුම ලබන විනුරි දහම්සා දියණිය විද්‍යාලයට පුස්තකාලයක් ලබා දෙන්නැයි ඉල්ලා සිටියාය. එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් මෙම පුස්තකාලය පිරිනැමිණ.

    පුස්තකාලය නිමවා ඇත්තේ, තට්ටු දෙකේ පැරණි බස් රථයක් අලුත්වැඩියා කොට යෝග්‍ය පරිදි සකස් කිරීමෙනි. ජනාධිපතිතුමාගේ නියමය අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතාගේ මැදිහත්වීමෙන්, මහරගම ඩිපෝව යකඩ සඳහා වෙන්දේසි කිරීමට තිබූ තට්ටු දෙකේ බස් රථයක් එහි කාර්ය මණ්ඩලය ජංගම පුස්තකාලයකට ගැලපෙන අයුරින් සකස් කර තිබේ.

    පුස්තකාලයට අවශ්‍ය පොත් සපයා ගැනීමට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සහ මහරගම ඩිපෝවේ කාර්ය මණ්ඩලය අනුග්‍රහය දක්වා තිබේ.

    විද්‍යාලය ආරම්භ කොට වසර 05ක් ගතවී ඇතත්, මේ දක්වා පුස්තකාලයක් නොතිබූ අතර, සිසුන් 400ක් පමණ එහි ඉගෙනුම ලබයි. බස් රථය ලබාගැනීම සඳහා විදුහල්පති චමින්ද ප්‍රියශාන්ත මහතා සහ විනුරි දහම්සා දියණියද එක්ව සිටියහ.

    Last modified on සදුදා, 03 අගෝස්තු 2020 20:20

    Latest News