ඇවන්ඩ්ගාඩ්, ජනාධිපති කොමිෂන් සභාවේ විෂයට අයත් (වීඩියෝ)

ජූනි 23, 2020
  • දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ විෂය පඨයට ඇවන්ට්ගාඩ් පැමිණිල්ල අයත් බවට කොමිෂන් සභාව තීන්දු කර ඇති හෙයින්, එය විනිශ්චය කිරීම දිගටම සිදු කරන බව එම කොමිෂන් සභාවේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අවධාරණය කරයි.

    ඔහු මේ බව කියා සිටියේ, ඇවන්ට්ගාඩ් සමාගම සම්බන්ධයෙන් වූ පරීක්‍ෂණය අද යළි කැඳවූ අවස්ථාවේදී.

    හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග හා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ඇතුලු සෙසු වගඋත්තරකරුවන් ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ අද පෙනී සිටියේය. ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට දේශපාලන බලපෑම් සිදු කළ බවට ජනාධිපති කොමිෂන් සභාවට කළ පැමිණිල්ලකට අනුව වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කෙරිණ. ඒ අනුව ඔවුන් අද කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේය. අනුර කුමාර දිසානායක මහතා සහ වගඋත්තරකරුවන් නියෝජනය කළ නීතිඥවරුන් බොහොමයක් කොමිසම හමුවේ මූලික විරෝධතා ගොනු කරමින් කියා සිටියේ, ඇවන්ට්ගාඩ් පැමිණිල්ල විභාග කිරීමට කොමිසමට අධිකරණ බලයක් නොමැති බවයි.

    තමා වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීම සඳහා හේතු සාධක කරගත් කිසිදු ප්‍රකාශයක් තමා වෙත ලැබී නොමැති බව අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. ඇවන්ට්ගාඩ් සමාගම පිළිබඳ විභාගය සම්බන්ධයෙන් ලබා දී ඇති සම්පූර්ණ සාක්‍ෂිවල පිටපත්, වගඋත්තරකරුවන්ට එරෙහි චෝදනා සහ පැමිණිල්ලේ ලේඛන ලබාදෙන ලෙස වගඋත්තරකරුවන් මෙහිදී ඉල්ලා සිටියේය.

    අදාළ ලේඛන අධීක්‍ෂණය කිරීමෙන් පසු, කොමිසම හමුවේ සාක්‍ෂි ලබා දෙන්නේ ද යන්න තීරණය කරන බව අනුර කුමාර දිසානායක මහතා සහ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීිතිඥවරුන් කොමිසමට දන්වා සිටියේය. කොමිසම හමුවේ අදහස් දක්වමින් සභාපති විනිසුරු උපාලි අබේරත්න මහතා ප්‍රකාශ කලේ, ඇවන්ට්ගාඩ් නඩුව, කොමිසමේ විෂය පථයට අදාළ වෙතැයි තීන්දු කර ඇති අතර, මේ වනවිට පරීක්‍ෂණ අවසන් අදියරට පැමිණ ඇති බවයි. එබැවින් ඇවන්ට්ගාඩ් සම්බන්ධයෙන් දිගටම විනිශ්චය සිදු කරන බව ද සභාපති විනිසුරුවරයා අවධාරණය කළේය. අදාළ ලේඛන වගඋත්තරකරුවන්ට ලබාදෙන ලෙස ද විනිසුරුවරයා නියෝග කළේය. සාක්‍ෂි කැඳවීම ලබන 26 වැනිදා තෙක් කල් තැබිණ.

    Last modified on අඟහරුවාදා, 23 ජූනි 2020 20:13

    Latest News