දිවයිනේ සියලු වැව් ප්‍රතිසංස්කරණයට ජාතික වැඩසටහනක්

ජූලි 28, 2020

    දිවයිනේ සියලු වැව් ප්‍රතිසංස්කරණයට ජාතික වැඩසටහනක් සකසන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරයි.

    දීර්ඝ කාලයක සිට නිසි අයුරින් වැව් සහ වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණය නොවීම ජනාධිපතිතුමා පසුගිය දිනවල චාරිකා කළ සියලු දිස්ත්‍රික්කවලදී ජනතාව ඉදිරිපත් කළ ප්‍රධාන ගැටළුවකි. කෘෂිකර්මාන්තයට, සහ ජනජීවිතයට එය ඉමහත් හානිකර බලපෑමක් කර තිබේ. ඊට විසඳුම් ලෙස විධිමත් හා නිසි ප්‍රමිතිගත සැලසුමක් ඇතිව සියලු වැව් ප්‍රතිසංස්කරණය කරන බව ජනාධිපතිතුමා කියා සිටී. මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමට (27) දෙවන දිනටත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ චාරිකා කළ ජනාධිපතිතුමා කුලියාපිටිය සමූපකාර ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවට සහභාගී වෙමින් මේ බව සඳහන් කළේය.

    බිංගිරිය දුම්මලසූරිය, නෙරළුගම ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා රැස්ව සිටි ජනතාව සමග සුහද කථා බහක නිරත විය. මැටි කර්මාන්තය ආශ්‍රිත ස්වයං රැකියාවල නිරත පිරිස තමන් මුහුණ දෙන ගැටළු පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කළහ. ඔවුනට නිදහසේ සිය ජීවනෝපාය කරගෙන යාමට ඉඩ දෙන ලෙස ජනාධිපතිතුමා එවලෙහිම පොලීසියට නියෝග කළේය.

    කටුගම්පොළ, පන්නල මහජන ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ ජන හමුවට ද ජනාධිපතිතුමා සහභාගී විය. වසර 150ක් පැරණි පන්නල ජාතික පාසලට නව පරිපාලන ගොඩනැගිල්ලක්, පිහිණුම් තටාකයක් ඉදිකර දෙන ලෙස සිසුන් කළ ඉල්ලීම ඉටු කරන බව ජනාධිපතිතුමා පැවසීය.

    පිත්තල සහ වෙනත් සාම්ප්‍රදායික කර්මාන්තවල නිරත පිරිස් ණය ඉල්ලුම් කිරීමේ දී මුහුණදෙන ගැටළු පිළිබඳව ද ජනාධිපතිතුමා දැනුවත් කෙරිණ.

    මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කරන්නැයි කළ ඉල්ලීමට පිළිතුරු දුන් ජනාධිපතිතුමා තම ප්‍රදේශවල ජාවාරම් තොරතුරු නිර්නාමිකව ජනාධිපති කාර්යාලයට එවන ලෙස ජනතාවට පැවසීය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අවස්ථාවන්ට එක්ව සිටියහ.

    Latest News