රාජිතට, මද්දුමබණ්ඩාරට, ස්වාමිනාදන්ට, රංජන්ට සහ අජිත්ට නොතීසි

ජූලි 04, 2020

    යහපාලන ආණ්ඩුව නිලතල දැරූ රාජිත සේනාරත්න, රංජත් මද්දුමබණ්ඩාර, ඩී.එම්. ස්වාමිනාදන්, රංජන් රාමනායක සහ අජිත් පෙරේරා යන මහත්වරුන් වගඋත්තරකරුවන් කරමින්, දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව විසින් නොතීසි නිකුත් කරනු ලැබීය.

    අසත්‍ය සාක්‍ෂි මත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීම සහ අත්අඩංගුවට ගෙන සිරගත කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාවේ රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක මහතා ගොනු කරන ලද පැමිණිල්ල ඊයේ දිනයේ විභාගයට ගැනුණු අවස්ථාවේදීයි, කොමිසමේ සභාපති, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා මෙම නියෝගය සිදු කළේ.

    නියෝජ්‍ය පොලිස්පතිවරුන් වූ රවී වෛද්‍යාලංකාර සහ රවී සෙනෙවිරත්න යන මහත්වරුන් සහ ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා ඇතුළු 07 දෙනෙකුට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස කොමිසමේ සභාපතිවරයා නියෝග කළේය. පැමිණිල්ලට අදාලව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතාට සහ සහකාර පොලිස් අධිකාරි බී.එස්. තිසේරා මහතාට නොතිසි නිකුත් කර තිබුණත් ඔවුන් ඊයේ කොමිසම හමුවේ පෙනී සිටියේ නැහැ.

    කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක මහතා කියා සිටියේ, එවකට ආරක්‍ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන් පුද්ගලයින් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධ චෝදනාවකට හසුකිරීම සඳහා සාක්‍ෂිකරුවෙකු ලෙස තමා යොදා ගැනීමට උත්සාහ කළ බවයි.

    එම උත්සහය ව්‍යර්ථ වීමෙන් පසු අසත්‍ය චෝදනා මත තමා වැරදිකරුවෙකු කරමින් නඩු පැවරීමට ක්‍රියා කළ බව ද දසනායක මහතා ප්‍රකාශ කළේය. හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන් යුද අපරාධ කළ බව ඔප්පු කිරීම සඳහා එවකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම උත්සාහයක නිරත වූ බව ද රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක මහතා කොමිසම හමුවේ හෙළි කළේය. හිටපු නාවික හමුදාපතිවරයෙකු වන ට්‍රැවිස් සින්නයියා ලබාදුන් ව්‍යාජ සාක්‍ෂියක් මත තමාව අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ බව ඔහු සඳහන් කළේය. මේ හේතුවෙන් පසුගිය අවුරුදු පහමාරක කාලය තුළ උසස්වීම් ඇතුළු තමාට හිමිවිය යුතු බොහෝ දේවල් අහිමිවූ බව කියා සිටි ඔහු ජ්‍යෙෂ්ඨත්වය අනුව තමා නාවික හමුදාවේ දෙවන හෝ තුන්වන මට්ටමේ සිටිය යුතු බව ප්‍රකාශ කලේය. එහෙත් තමා දැන් පසුවන්නේ 14 වැනි ස්ථානයේ බව ඔහු සඳහන් කළේය. මේ වනවිට වයිස් අද්මිරාල් ධූරය තාවකාලික පදනමින් ලබාදී ඇති බවත්, තමාව ජ්‍යෙෂ්ඨත්වය මත සේවයේ පිහිටුවීමට ක්‍රියා කරන ලෙසත් ඔහු කොමිසන් සභාවෙන් ඉල්ලා සිටියේය.

    Latest News