PHI වෘත්තීය ක්‍රියාමාර්ගය, හෙට සිට අත්හැරීමට තීරණයක් (වීඩියෝ)

ජූලි 28, 2020
  • මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය, හෙට උදේ සිට අත්හැරීමට තීරණය කොට තිබේ.

    අද උදේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ පැවති සාකච්ජාවකින් අනතුරුව එම සංගමය මෙම තීරණයට එළඹිණ.

    අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ජාවට, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ නියෝජිතයන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

    එහිදී මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය, අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ එකඟතාව පළ කළේ, පරීක්‍ෂකවරුන්ට ඇති බලතල අනුව, යම් නඩු පැවරීමකදී එය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් විමසා සිදු කිරීමටයි. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා අතර ඒ සම්බන්ධයෙන් යම් පරස්පරතාවක් ඇති වුවහොත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා විමසා, ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් එකඟතාව පළ කෙරිණ.

    රාජකාරී සිදු කිරීමේදී නිරෝධායන රෝග ස්පර්ශකයන් සහ බෝවන රෝග පාලනය කිරීමේ ආඥාපනත උල්ලංඝණය නොවන පරිදි ක්‍රියා කිරීමට ද මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ එකඟතාව පළ විණ. ඉදිරි පාර්ලිමේන්තුවේ දී, මහජන සෞඛ්‍ය ආඥා පනතට සංශෝධන ගෙන ඒමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණ. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් පසුගිය 16 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ තිබිණ.

    Last modified on අඟහරුවාදා, 28 ජූලි 2020 20:50

    Latest News