මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන 11ක මුල්‍ය වංචාවක් (වීඩියෝ)

ජූලි 28, 2020
  • 2016-2019 දක්වා කාලය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන 11ක මුල්‍ය වංචාවක් සිදුව ඇතැයි, හෙළිදරව් වී තිබේ.

    අරමුදලේ අමෙරිකානු ඩොලර් ගිණුමේ මුදල් ද අවභාවිත කර ඇති බවට කමිටු වාර්තාවෙන් ප්‍රකාශ කෙරිණ.

    එම කාලයේ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූ අක්‍රමිකතා සහ අවභාවිතාව පිලිබඳ සොයා බැලීමට, අග්‍රාමාත්‍යවරයා කමිටුවක් පත් කළේය. එහි පිටු 142කින් සමන්විත එම වාර්තාවේ, මේ බව දැක්වේ. කමිටු වාර්තාව අද උදේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට බාරදෙනු ලැබුවේ, එම කමිටු සාමාජිකයන් විසින්.

    පසුගිය ජනාධිපතිවරණ සමයේ දී අනුමැතියෙන් තොර ජංගම ගිණුම් 25ක් පවත්වාගෙන යාම, මුදල් රෙගුලාසි උල්ලංඝණය කරමින් මිලදී ගැනීම් සිදුකිරීම වැනි කරුණු සම්බන්ධයෙන් ද කමිටු විමර්ශනවල සඳහන්.

    2019 වසරේ අනුමැතියකින් තොරව කළ වියදම් අනුමැතියට, වර්ෂාවසානයේ අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීමක් පවත්වා තිබේ. විදේශ ආදායම් සහිත අරමුදල් ව්‍යාපෘතිවල ගිණුම් දෝෂ සහ අවිධිමත් බඳවාගැනීම් ද එම කාලය තුළ සිදුකර ඇතැයි, කමිටු වාර්තාවේ සඳහන්. නියමිත අනුමැතියකින් තොරව ස්ථාවර තැන්පත් ආපසු ගැනීමේ හා තැන්පත් පොලිය ආදායම් අහිමි වීමෙන් රුපියල් මිලියන 2,608ක්, නීත්‍යානුකූල අනුමැතියකින් තොරව “සිසු දහම් සෙවණ“ වැඩසටහන යටතේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 753ක් අවභාවිත කර ඇතැයි හෙළිදරව් වී තිබේ.

    සංචාරක ප්‍රවේශපත්‍රවල අමෙරිකානු ඩොලර් ආදායම, රුපියල්වලට පිරිවර්තනය කිරීමේදී සිදුවූ අලාභය, රුපියල් මිලියන 48ක්. පුරා විද්‍යා භාරය සඳහා නියමිත දායකත්ව මුදල් නොගෙවා, නීති විරෝධිව වෙනත් කටයුතු සඳහා වැය කළ මුදල, රුපියල් මිලියන 2,266ක්.

    “අපේගම” ව්‍යාපෘතියේ දේපල පැවරීමේ දී සිදුවූ අලාභය, රුපියල් මිලියන 8ක් බවට එහිදී තක්සේරු කොට තිබේ. විධිමත් අනුමැතියකින් තොරව, සංස්කෘතික ආධාර හා ප්‍රධාන ලෙස ලබාදුන් මුදල, රුපියල් මිලියන 2,316ක්. බඳවා ගැනීමේ පටිපාටියේ අනුමත සීමා ඉක්මවා අවිධිමත් බඳවාගැනීම් සඳහා වැටුප් හා දීමනා ලෙස රුපියල් මිලියන 3,060ක් වැයකොට තිබේ. සිදුව ඇති අක්‍රමිකතා සහ අවභාවිතයන් මෙන්ම පරිපාලන අක්‍රමිකතා වෙනුවෙන් අදාළ පාර්ශවයන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කමිටුව නිර්දේශ කොට තිබේ.

    මුදල් රෙගුලාසි උල්ලංඝණය කරමින් උපාංග මිලදී ගැනීම්, විදේශ ආදායම් සහිත අරමුදල් ව්‍යාපෘතිවල මුදල් ගිණුම්ගත කිරීමේ දෝෂ හා ගෙවීමේ පටිපාටියෙන් බැහැර මුදල් ගෙවීම් සඳහා, පසුව ලේඛන සකස් කිරීම වැනි කරුණු ගණනාවක් කමිටු වාර්තාවේ දැක්වේ.

    2019 වර්ෂය පුරා සිදු කළ අවිධිමත් වියදම් සඳහා අනුමැතිය ලබාගැනීමට, 2019 නොවැම්බර් 15 වැනිදා අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීමක් කැඳවා තිබේ. ඊට සාමාජිකයන් පස් දෙනෙකු සහභාගි වී ඇති නමුත්, සහභාගි නොවූ අන් සාමාජිකයන්ගෙන් ද අත්සන් ලබාගෙන ඇතැයි කමිටු වාර්තාවේ දැක්වේ. මෙම අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීමේ නීත්‍යානාකූල භාවය පිළිබඳව ගැටලු ඇතැයි සඳහන් කරන කමිටුව, සාමාජික අත්සන් තහවුරු කරගැනීම සුදුසු බව අවධාරණය කරයි.

    අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටුවට විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ගාමිණි සරත් එදිරිසිංහ, හිටපු ලේකම්වරයෙකු වූ ගෝඨාභය ජයරත්න, ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්තා රෝහණධීර යන මහත්වරුන් ඇතුලත්.

    Last modified on අඟහරුවාදා, 28 ජූලි 2020 20:51

    Latest News