ජනතාව නොමඟ යවන බොරු ව්‍යවස්ථා බිල්ලෙක් ගැන අනුර කියයි

ජන 03, 2019

    දේශප්‍රේමී කියාගන්නා කණ්ඩායම් බොරු ව්‍යවස්ථා බිල්ලෙක් මවමින් ජනතාව නොමඟ යවමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ව්‍යවස්ථාවක් සම්මත කිරීමට ක්‍රමවේදයක් තිබෙන බවත්, පළමුව ව්‍යවස්ථා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු අතර, ඉන්පසුව එය විවාද කර තුනෙන් දෙකකින් සම්මත කර ජනමත විචාරණයකින් සම්මත විය යුතුව තිබෙන බව ජනතාව දැනුම්වත් විය යුතු බවද දිසානායක මහතා පෙන්වා දුන්නේය.

    රාජපක්ෂ කඳවුර දේශපාලන කුමන්ත්‍රණ කර පරාජය වී ඇඳිවත පවා නැතිව සිටින වේලාවේ මෙවැනි ව්‍යවස්ථා බිල්ලෙක් මවමින් දේශපාලනයේ ඉදිරියට යාමට උත්සාහ කරමින් සිටින බවත් හෙතෙම පෙන්වා දුන්නේය. බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එසේ පැවැසීය.

    දකුණේ අන්තවාදීන් හා උතුරේ අන්තවාදීන් ජාතිවාදය වපුරවමින් දේශපාලනය කරගෙන යාමට උත්සාහ කරන බවද විග්නේෂ්වරන් මහතා වසර පහක් උතරේ මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළත් දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා නුදුන් බවද හෙතෙම කියා සිටියේය.

    ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ නැතුව උතුරේ හා දකුණේ ජනතාව දේශපාලන ගොදුරක් බවට පත් කරමින් සිටින බවත් එය පරාජය කිරිමට ජවිපෙ කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා...

    ඇත්ත සමාජ ප්‍රශ්න යටගසමින් බොරු දේශාපලන අර්බුද පිළිබද කතා කරමින් ඉන්නවා. මෙයට මාධ්‍යයටත් වගකීමක් තිබෙනවා. මාධ්‍ය ආයතනයේ වගකීම තමයි එක් එක් දේශපාලන පක්ෂවල ගොදුරක් බවට පත් නොවී ජනතාවගේ ප්‍රශ්න ඉදිරියට ගෙන යාම. කුමන්ත්‍රණයේ දින පනහ පිළිබඳ බැලුවොත් මාධ්‍ය ජනතාවගේ ප්‍රශ්න කතා කර නැහැ. ජනතාවගේ ප්‍රශ්න තියා මාධ්‍යවේදීයාට තමයි මේ රටේ අඩුව වැටුප් තිබෙන්නේ. ඒ පිළිබඳවවත් මාධ්‍ය කතා කරන්නේ නැහැ. රැකියා වියුක්තියේ ප්‍රශ්නය, ප්‍රවාහන අර්බුද කර්මාන්ත ප්‍රශ්න ගැන මාධ්‍ය කතා කරන්නේ නැහැ. බොරු දේශපාලන අර්බුදයේ ප්‍රශ්න හඹායන ජනතාවක් නිර්මාණය කිරීමෙන් රටට සෙතක් වෙන්නේ නැහැ. එය මාධ්‍ය යේ වගකීමක්.

    අපි මේ වන විට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනවිත් තිබෙනවා. එය තුනෙන් දෙකකින් සම්මත කර දෙන්න. ඉන්පසුව ජනමත විචාරණයකින් සම්මත කර ගනිමු.

    Last modified on බ්‍රහස්පතින්දා, 03 ජනවාරි 2019 12:01

    Latest News