ජනපති සෝමාවතියෙන් වැඩ අරඹයි

ජන 01, 2019

    උදා වූ නව වසරේ කටයුතු අරඹමින් අද (01) උදෑසන ඓතිහාසික සෝමාවති පුදබිම වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත විය.

    සෝමාවති රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ‍්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ ද ආශිර්වාදය ලබා ගත්තේය. ඉන් අනතුරුව පුදබිමේ විශේෂ ආගමික වතාවත්වලට එක් වූ ජනාධිපතිතුමා වෙත මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කළහ. අද දින සෝමාවති චෛත්‍ය රාජයාණන් වහන්සේ උදෙසා පැවැත්වුණු විශේෂ කප්රුක පූජාවට ද ජනාධිපතිතුමා එක් විය.

    නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහා සෝමාවති පුදබිම වෙත පැමිණි බැතිමතුන් වෙනුවෙන් කිරිබත් සහ කැවිලි දන්සැලක් පොළොන්නරුව බෞද්ධ සංගමය විසින් සංවිධානය කර තිබූ අතර, එම දන්සැල ආරම්භ කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි. දන්සැල වෙත පැමිණි ජනතාව සමග සුහද පිළිසඳරක නිරත වූ ජනාධිපතිතුමා ඔවුන්ට කිරිබත් කැවිලිවලින් සංග‍්‍රහ කිරීමට ද එක් විය.

    ,පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ සෝමාවති පුදබිමේ ඉදිකෙරෙන දෙමහල් ධර්මශාලාවේ ඉදිකිරීම් කටයුතු ද මෙහි දී ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වූ අතර එම ඉදිකිරීම් කඩිනම් කරන ලෙස නිලධාරින්ට උපදෙස් දෙන ලදී.

    මේ අතර ජනාධිපතිතුමා ඊයේ (31) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන් ද වැඳපුදා ගනිමින් නව වසරට ආශිර්වාද ලබා ගත්තේය. අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ ද සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.

    ඓතිහාසික ජය ශ‍්‍රී මහා බෝ පුදබිමේ සංවර්ධන කටයුතු පිළබඳව එහිදි සාකච්ඡාවට ලක් වූ අතර එම කටයුතු වෙනුවෙන් අවශ්‍ය සියලූ සහය ලබාදෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    Last modified on අඟහරුවාදා, 01 ජනවාරි 2019 13:30

    Latest News