2019 දුෂණයෙන් තොරව වැඩකරන වසරක්

දෙසැ 31, 2018

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (31) උදෑසන මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිදුන් වැඳ පුදාගෙන උදාවන නව වසරට ආශිර්වාද ලබා ගත්තේය.

    අනතුරුව මල්වතු මහා විහාරය වෙත ගිය ජනාධිපතිතුමා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල මහානායක හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසා සුහද පිළිසඳරක නිරත විය. උන්වහන්සේ එහි දී සෙත් පිරිත් සජ්ජායනා කර උදා වන නව වසරට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ. අස්ගිරි මහානායක හිමියන් විදෙස්ගතව වැඩ සිටින බැවින් අනතුරුව, අස්ගිරි ගෙඩිගේ රජ මහා විහාරය වෙත ගිය ජනාධිපතිතුමා අස්ගිරි අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනායක ස්වාමින් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය.

    උන්වහන්සේ ද සෙත් පිරිත් සජ්ජයනා කර ජනාධිපතිතුමා වෙත උදාවන නව වසරට ආශිර්වාද පළ කළහ. අස්ගිිරි ගෙඩිගේ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරෙන නව දානශාලාවේ සහ පුරාවිද්‍යා මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් කෙරිණි. මේ අතර රැස්ව සිටි මාධ්‍යවේදීන් ඇමතු ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ 2019 වසර දුෂණයෙන් තොරව වැඩකරන වසරක් ලෙස තමා නම් කර තිබෙන බවයි.

    තම හෘද සාක්ෂියට එකඟව අවංකව වැඩකරමින් රට ගොඩනැගීමේ අභියෝගය ජය ගැනීමට සියලූදෙනා එක්විය යුතු බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය. රෝගාතුරුව මහනුවර මහ රෝහලේ වැඩ වෙසන රාමඤ්ඤ මහා නිකායේ මහානායක පූජ්‍ය නාපාන පේමසිරි නායක හිමිපාණන් වහන්සේගේ සුව දුක් විමසීමට ද මින් අනතුරුව ජනාධිපතිතුමා කටයුතු කළේය.

    රෝහල වෙත ගිය ජනාධිපතිතුමා නායක හිමිපාණන් වහන්සේගේ සුව දුක් විමසීමෙන් අනතුරුව උන්වහන්සේට නිදුක් නීරෝගි සුවය ප‍්‍රාර්ථනා කළේය. මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක යන මහත්වරුන් ද ජනාධිපතිතුමා සමග මෙම අවස්ථාවන්ට එක්ව සිටියේය.

    Last modified on අඟහරුවාදා, 01 ජනවාරි 2019 07:32

    Latest News