උසස් පෙළ ප්‍රතිඵල වල වර්ධනයක්

දෙසැ 31, 2018

    2018 අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල 2017 වර්ෂය සමග සලකා බැලීමේ දී විද්‍යා, ගණිත ඉංජිනේරු සහ ජෛව තාක්ෂණ විෂයධාරා හදාරණ සිසුන්ගේ දක්ෂතා ඉහළ යාමක් ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

    2017 වර්ෂයේ දී ජීව විද්‍යා විෂය ධාරාව යටතේ සිසුන් 44,269 දෙනෙකු විභාගයට පෙනී සිට ඉන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා 25,178 ක් සුදුසුකම් ලැබීය. එහි ප්‍රතිශතය 56.88% කි. 2018 වර්ෂයේ දී ජීව විද්‍යා විෂය ධාරාව යටතේ සිසුන් 46,244 දෙනෙකු විභාගයට පෙනී සිට ඇත. ඉන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් ලැබූ සංඛ්‍යාව 27,402 ක් දක්වා ඉහල ගොස් ඇති අතර එහි ප්‍රතිශතාත්මක අගය 59.25% කි.

    2017 වර්ෂයේ දී භෞතික විද්‍යා විෂය ධාරාව යටතේ සිසුන් 32,075 දෙනෙකු විභාගයට පෙනී සිටි අතර ඉන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් ලැබූ සංඛ්‍යාව 17,584 ක්. සමත් වූ සංඛ්‍යාවේ ප්‍රතිශතය 54.82% කි. 2018 වර්ෂයේ දී භෞතික විද්‍යා විෂය ධාරාව යටතේ සිසුන් 32,311 දෙනෙකු විභාගයට පෙනී සිටි අතර ඉන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් ලැබූ සංඛ්‍යාව 18,514 ක් දක්වා වැඩි වී ඇත. එහි ප්‍රතිශතාත්මක අගය 57.29 % කි.

    2017 වර්ෂයේ දී ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාව යටතේ සිසුන් 10,682 දෙනෙකු විභාගයට පෙනී සිටි අතර ඉන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් ලැබූ සංඛ්‍යාව 6,163 ක් විය. සමත් වූ සංඛ්‍යාවේ ප්‍රතිශතය 57.7% ක් විය. 2018 වර්ෂයේ දී ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාව යටතේ පෙර වර්ෂයට වඩා වැඩි සිසුන් සංඛ්‍යාවක් එනම් 13,950 දෙනෙකු විභාගයට පෙනී සිටි අතර ඉන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් ලැබූ සංඛ්‍යාව 8,097 කි. එහි ප්‍රතිශතාත්මක අගය 58.04 % කි.

    2017 වර්ෂයේ දී ජෛව තාක්ෂණ විෂය සිසුන් 6,970 දෙනෙකු විභාගයට පෙනී සිටි අතර ඉන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් ලැබූ සංඛ්‍යාව 4,303 ක් විය. සමත් වූ සංඛ්‍යාවේ ප්‍රතිශතය 61.74% ක් විය. 2018 වර්ෂයේ දී ජෛව තාක්ෂණ යටතේ 9,463 දෙනෙකු විභාගයට පෙනී සිටි අතර ඉන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් ලැබූ සංඛ්‍යාව ද 6,088 ක් දක්වා වැඩි වී ඇත. එහි ප්‍රතිශතාත්මක අගය 64.33 % කි.

    ශීඝ්‍රයෙන් වෙනස්වන තාක්ෂණික ලෝකය සහ රැකියා අවස්ථා ජයගත හැකි නවෝත්පාදන හැකියාවලින් පිරිපුන් සිසු පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන් ලොව පුරා මේවන විට STEM අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම පිළිබඳ කතිකාවක් නිර්මාණය වී තිබේ.

    වර්තමාන රජය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මග පෙන්වීම යටතේ පසුගිය වසර කිහිපය තුළ දී STEM අධ්‍යාපනය නංවාලීම සඳහා ප්‍රමුඛතාව ලබාදුනි. ඒ අනුව පාසල්වලට අවශ්‍ය පරිගණක පහසුකම් මෙන්ම විද්‍යා ගණිත උපකරණ සහ ද්‍රව්‍ය ලබාදීමට පියවර ගත්තේය. ගුරු හිඟය සම්පූර්ණ කිරීමටත් ගුරුවරුන් වෙනුවෙන් අවශ්‍ය පුහුණුව ලබාදීමටත් පියවර ගෙන ඇත.

    මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ STEM අධ්‍යාපන ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකි ආකාර පිළිබඳව සොයාබැලීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත ලංකාවේ ප්‍රකට විද්‍යා අධ්‍යාපනඥයින්, විද්‍යාඥයින්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්, විවිධ ආයතනවල විද්‍වතුන් ඇතුළු පිරිසක් දායකත්වයෙන් විශේෂ කමිටුවක් ද පත් කර තිබේ.

    ප්‍රාථමික අධ්‍යාපනය හරහා සොබාදහම, පරිසරය හා ප්‍රායෝගිකත්වයට මූලිකත්වය ලබා දෙන දරුවකු නිර්මාණය කිරීමටත් ද්විතියික අංශය යටතේ 6 – 10 ශ්‍රේණි වල දරුවන්ගේ අධ්‍යාපනය තුළ ඇති STEM අධ්‍යාපන අවස්ථා තවදුරටත් පුළුල් කරමින් විෂයමාලාව තුළ විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිතය යන විෂයන් ඉගැන්වීම් ප්‍රමාණය ප්‍රායෝගිකත්වයට මුල්තැන දී ඉහළ නැංවීමටත් යෝජනා ඉදිරිපත් වි තිබේ.

    උසස් පෙළ සිසුන් සඳහා STEM අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට යෝජනා වී ඇති විද්‍යා විෂයන් හදාරන සිසුන්ට කලාත්මක රස වින්දනය පිළිබඳ අවබෝධයක් ලබා දීමත් කලා විෂයන් හදාරන සිසුන්ට ප්‍රායෝගික විද්‍යා අවබෝධය ලබාදීමට ද සැලසුම් කර ඇත.

    Last modified on සදුදා, 31 දෙසැම්බර් 2018 18:40

    Latest News