රිය අනතුරු සිද්ධියට හිටපු අමාත්‍ය පාඨලීට අධි චෝදනා

ජූනි 24, 2020

    හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපතිට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ වෙන් වෙන්ව අධිචෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව වාර්තාවේ.

    ඒ, 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු බරපතළ රිය අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

    මේ බව අද නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

    මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා විසින් මෙම දැනුම් දීම සිදු කරන ලදී.

    පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවට දන්වා සිටියේ සිද්ධියට අදාල විමර්ශන කටයුතු අවසන් කර ඇති බවයි.

    උපදෙස් ලබාගැනීම සඳහා විමර්ශනය ගොනු නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව ද පොලිසිය විසින් අධිකරණයට දැනුම් දුන්නා.

    එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ වැලිකඩ පොලිසිය හිටපු ස්ථානාධිපති වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල එරෙහිව වෙන් වෙන්ව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව දැනුම් දුන්නා.

    ඒ අනුව පැමිණිල්ල සැප්තැම්බර් මස 02 වන දා යළි කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදින මෙම කටයුතුවල ප්‍රගතිය වාර්ථා කර ලෙසද රජය නියෝජ සොලිසිටර් ජනරාල් වරයාට නියෝග කළා.

    Latest News