විල්පත්තු ආශ්‍රිත වනාන්තර එළි කිරීමට එරෙහි නඩුවේ තීන්දුව ජුලි 31

ජූනි 24, 2020

    හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සමට අදාළ තීන්දුව ජුලි මස 31 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කර තිබේ.

    විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපයට ආසන්නව පිහිටි මරිච්චකට්ටු රක්ෂිත වන ප්‍රදේශය හෙළිකොට අනවසර ඉදිකිරීම් සෑදීමට එරෙහිව අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇත.

    පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මේ බව ප්‍රකාශ කර තිබේ.

    මෙම නඩුවට අදාළව 2018 වසරේ අගෝස්තු මස 28 වන දා තමන් විසින් ගොනුකරන ලැබූ ලිඛිත දේශනය තවදුරටත් අදාළ කරගන්නා ලෙස එහි වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබිණ.

    ඉන් අනතුරුව මෙම පෙත්සමට අදාළ තීන්දුව තීන්දුව ජුලි මස 31 දා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළේය.

    විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපවලට ආසන්නයේ පිහිටි මරිච්චකට්ටු රක්ෂිත වනාන්තර කලාපයේ අක්කර 2388 හෙළි කොට එහි අනවසර ඉදිකිරීම් සිදුකිරීම තුලින් විශාල පාරිසරික හානියක් සිදු වී තිබෙන බවයි පෙත්සම ඉදිරිපත් කරන පරිසර යුක්ති කේන්ද්‍රය පවසන්නේ.

    එබැවින් අදාළ වනාන්තර කලාපය තුළ තවදුරටත් හෙළි කිරීම් සිදුකොට අනවසර ඉදිකිරීම් සෑදීම වැළැක්වීමෙන් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

    මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව කිහිපයක් නම් කර ඇත.

    මෙම නඩුවේ විභාගය අවසන් කොට ඉකුත් වසරේ අගෝස්තු මස තීන්දුව ප්‍රකාශය කිරීමට නියමිතව තිබුණත් එය විභාග කළ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා එම තීන්දුව ප්‍රකාශ කිරීමට අකැමැත්ත පළ කිරීම හේතුවෙන් අදාළ පෙත්සම මුල සිට යළි විභාග කිරීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා තීරණය කර තිබිණ.

    Latest News