අප්‍රිකානු රටවල සිට ශ්‍රී ලාංකිකයින් 289ක් දිවයිනට

ජූනි 21, 2020

    අප්‍රිකානු මහාද්වීපයේ රටවල සේවය කළ, ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 289 දෙනෙක් රැගෙන ශ්‍රී ලන්කන් විශේෂ ගුවන් යානයක් ටැන්සානියාවේ සිට අද (21) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

    මැඩගස්කර්, මොසැම්බික්, උගන්ඩාව, කෙන්යාව, රුවන්ඩාව සහ ටැන්සානියාව යන අප්‍රිකානු මහාද්වීපයේ රටවල හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවල නියැලී සිටි විශාල පිරිසක් මෙම ගුවන් මගීන් අතර සිටියි.

    මෙම ගුවන් මගීන් පිරිස ටැන්සානියාවේ, දාර් එස් සලාම් (Dar Es Salaam) නුවර ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1710 දරන විශේෂ ගුවන් යානයෙන් අද අලුයම 5.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

    කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී සෞඛ්‍ය අංශ විසින් මෙම ගුවන් මගීන් පිරිස පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කළ අතර, එම පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක් ගුවන් තොටුපළ අවට හෝටල් කිහිපයක තාවකාලිකව නවාතැන් ගැනීමට පහසුකම් සළසා දී තිබේ.

    Latest News