පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව සිදු කළ වෙනස යථාර්ථයක් බවට පත් කිරීමට අවස්ථාව උදාවෙලා - අගමැති (වීඩියෝ)

ජූනි 18, 2020
  • පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව සිදු කළ වෙනස යථාර්ථයක් බවට පත් කිරීමට මෙවර මහ මැතිවරණයේ දී අවස්ථාව උදාවී ඇතැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    තිස් වසරක යුද්ධය නිමා කළ නායකත්වයත්, කිසිදු පූර්ව අත්දැකීමක් නොමැතිව සිට කොරෝනා වසංගතය දේශීයව ජයගත් නායකත්වයත්, පෙරටු කර ගනිමින් ආදර්ශවත් ලෙස මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන ලෙස අග්‍රාමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

    කොවිඩ් 19 වසංගතය නිසා සහ 19 වැනි සංශෝධනයෙන් වසර හතර හමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වළක්වා තිබෙන නිසා මාස 9ක් තිස්සේ රටට උදාවී ඇත්තේ සංක්‍රාන්ති සමයක්. මෙරට දේශපාලන ඉතිහාසයේ මෙවැනි දෙයක් සිදුවූ පළමු අවස්ථාව මෙයයි.

    යහපාලන දේශපාලන පක්‍ෂ, පළාත් පාලන ආයතන අවුරුදු තුනකින් ප්‍රමාද කළේය. පළාත් සභා ඡන්දය, නොපැවැත්වීමට ක්‍රියා කළේය. අධිකරණයට ගොස් මහ මැතිවරණය කල් දැමීමට උත්සහ කළත් ශ්‍රේෂ්ඨාධිකරණය ඊට ඉඩ දුන්නේ නැත. එබැවින්, තමන් කැමති ආණ්ඩුවක් පත් කරගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රටේ හෙට දවස වෙනුවෙන් පාවිච්චි කිරීමේ අවස්ථාව ජනතාවට දැන් ලැබී තිබේ. 2006, 2014 කාලයේ පැවති මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව මෙන්ම, ගෝඨාභය ජනාධිපතිතුමාගේ ආණ්ඩුවටත් ජයගත නොහැකි අභියෝග ජයගත හැකි බව, ඔප්පු කළේය. පෙර අත්දැකීම් නොමැතිව වුවද කොවිඩ් 19 පාලනය කිරීමට සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව ඇතුළු අනෙකුත් සියළු දෙනා ඉටු කළ මෙහෙය ප්‍රශංසනීයයි. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ලබාදුන් නිවැරදි දේශපාලන නායකත්වය ඊට හේතුවයි. ලෝක අවධානයට ලක්වෙන මෙවැනි සුවිශේෂ ජයග්‍රහණයක් ලබාගත් පසුබිමකයි, රජය මේ මැතිවරණයට මුහුණ දෙන්නේ. කොවිඩ් 19 වසංගත කාලය තුළ යහපාලන රජය පැවතියා නම්, අත්වන ඉරණම පිළිබඳව ජනතාවට නිවැරදි අවබෝධයක් තිබේ.

    19 වන සංශෝධනය හේතුවෙන් 2020 මාර්තු දක්වා පාර්ලිමේන්තුවේ බලය පවත්වාගෙන යාමට පරාජිත පාර්ශවයට ඉඩ ලැබුණි. එම තත්වය භාවිත කරමින් ඔවුන් හැමවිටම සිදු කළේ නව ආණ්ඩුවේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමයි. යහපාලන ආණ්ඩුවේම පොහොර හා බෙහෙත් සැපයුම්කරුවන්ට මුදල් ගෙවීමට ගෙන ආ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවෙන් සම්මත කරගැනීමට ඔවුන්ට ඉඩ ලබාදුන්නේ නැහැ.

    2015 දී යහපාලන ආණ්ඩුව බිහිවුණේ, දෙස්-විදෙස් කුමන්ත්‍රණවලින් 2019 ජනාධිපතිවරණයෙන් එම කණ්ඩායම පරාජය වුවද කුමන්ත්‍රණ කිරීම අවසන් කළේ නැහැ. බටහිර තානාපති කාර්යාලයක සේවිකාවක් පැහැරගෙන ගිය බවට රඟ දැක්වූ නාට්‍ය ඉන් එකක්. හිටපු හමුදා නිලධාරියෙකු යටතේ දරදඬු පාලනයක් ඇති වී ඇතැයි, සිදුකළ ප්‍රචාර බොරු කරමින් ජනාධිපතිතුමා සියලු උද්ඝෝෂණකරුවන්ට ජනාධිපති කාර්යාලයට නිදහසේ පැමිණිමට ඉඩ ලබාදුන්නේය. කොවිඩ්-19 වසංගතය පාලනයෙන් පසු කුඩා දේශපාලන කණ්ඩායමක් අමෙරිකාවේ සිද්ධියක් මුල්කරමින් අධිකරණ වාරණ නියෝග නොතකා හැර අමෙරිකානු තානාපති කාර්යාලයට ඉදිරිපිට උද්ඝෝෂණය කිරීමට උත්සාහ කළ විට පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

    මෙම සිද්ධිය මුල්කරගනිමින් 2015 ජනාධිපතිවරණයේදී බොරු ප්‍රචාර සිදු කළ පිරිස් නැවතත් රොද බැඳගෙන රාජ්‍ය මර්දනය ගැන ප්‍රවෘත්ති සාකච්ජා පැවැත්විණ. 2015 බලයට පත් ආණ්ඩුව උද්ඝෝෂණකරුවන්ට කඳුලුගෑස් සහ බැටන් පොලු ප්‍රහාර දුන් ආකාරය ජනතාවට අමතක නැත. ලෝටස් පාරේ උද්ඝෝෂණයට එල්ල කළ බැටන් පොලු ප්‍රහාරයෙන් ආබාධිත රණවිරුවෙකුගේ ඇසකටත් හානි සිදුවිය. එවැනි ප්‍රහාර ගැන නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළ පිරිස් සුළු සුළු සිද්ධින් උලුප්පා දැක්වීමට අද උත්සාහ කරයි. කොවිඩ් 19 පැතිරීම හේතුවෙන් ආදායම් අහිමි වූ අයට රජයෙන් රුපියල් පන් දහසක දීමනාවක් ලබාදුන්නේය. රුපියල් පන් දහසේ දීමනාව වෙනුවට රුපියල් 65,000ක් ලබාදිය යුතු බව යහපාලන ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ප්‍රකාශ කළේය. ඊට විරෝධතා එල් වූ බැවින්, එය රුපියල් 20,000 දක්වා අඩු කරනු ලැබීය. කොවිඩ්-19 වසංගතය පැතිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය අසලට උද්ඝෝෂකයින් දිනපතා පැමිණියේය. ඔවුන් වැඩි පිරිසක් පැමිණියේ යහපාලන ආණ්ඩුවෙන් ලැබුණු පත්වීම් ස්ථිර කරගැනීමටයි. එම පිරිස මහ හඬින් විරෝධය පළ කලේ, යහපාලන ආණ්ඩුවටයි. ව්‍යාජ පත්වීම් ලබාදුන් යහපාලන අමාත්‍යවරයාට යළි හම්බන්තොටට නොපැමිණෙන ලෙස උද්ඝෝෂකයන් බල කළේය. ඒ ආකාරයෙන්ම හිටපු යහපාලන අමාත්‍යවරයා හම්බන්තොටින් පළා ගොස් කොළඹින් තරග කරන බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 ජූනි 2020 20:10

    Latest News