මෙරට තනි සමාගමක් ක්‍රියාකරන විශාලතම ආයෝජන ව්‍යාපෘතිය (වීඩියෝ)

ජූනි 18, 2020
  • කොළඹ, වරාය නගරයේ “චෙක් පෝට් සිටි කළම්බු” පෞද්ගලික සමාගම මගින් යෝජිත ආයෝජනය සඳහා දිරි දීමනා ලබාදීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    මෙය මෙරට තනි සමාගමක් ක්‍රියාකරන විශාලතම ආයෝජන ව්‍යාපෘතියයි.

    මෙරට විශාලම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස මෙය හැඳින්වේ. මෙමගින් රටට ආර්ථික හා තවත් ප්‍රතිලාභ රැසක් හිමිවනු ඇත. ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කඩිනමින් ක්‍රියාත්මකයි. කිලෝ මීටර 02ක දිගින් යුත් කොළඹ වරාය නගරයේ නව වෙරළ තීරය සකස් කෙරෙමින් පවතී.

    වෙරළ ක්‍රීඩාංගණය, වෙරළ උද්‍යානය, ළමා උද්‍යාන, කුඩා ආපන ශාලා, බෝට්ටු ප්‍රවාහන සේවාවලට අදාළ අංගන ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය නුදුරේදී ආරම්භ කෙරෙනු ඇත. මුහුදු මට්ටමේ සිට මීටර හතර හමාරක උසකින් යුක්තව සහ කිලෝ මීටර 3.2ක දිගකින් යුත් දියකඩනය ඉදිකිරීම ද මේ වනවිට මුළුමණින්ම අවසන් කර තිබේ. දිය කඩනය යෙදීමෙන් විශාල මුහුදු රළට වෙරළ සීමාවට පැමිණිමට නොහැකිය. එබැවින් මුහුදු සීමාවේ දියනෑම, වෙරළ ක්‍රීඩාවල නිරතවීම හා ජල ක්‍රීඩාවල නිරතවීමට හැකියාව ලැබෙන පරිදි එම කටයුතු ආරක්‍ෂාකාරීව සිදු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ද කොළඹ වරාය නගර ව්‍යාපෘතියට ඇතුළත්.

    ගාලු මුවදොර පිටිය ප්‍රදේශයේ සිට කොළඹ වරාය නගරයට පාගමනින් පැමිණිය හැකි පිවිසුම් මාර්ගයක් ඉදි කෙරේ. ඊට ඇතුළුවීම සඳහා සාමාන්‍ය ජනතාවගෙන් කිසිදු ගාස්තුවක් අය නොකෙරේ. මුහුද ගොඩ කර හෙක්ටයාර 269ක භූමිය ඇතුළු වෙරළ ඉදිකිරීමට සහ දියකඩනය ඉදිකිරීමට වැය කෙරුණු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 830ක්. කොළඹ වරාය නගරයේ වෙරළ තීරය ජනතාව වෙනුවෙන් ලබන වසරේදී විවෘත කෙරෙනු ඇත.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 ජූනි 2020 19:49

    Latest News