ඇවන්ගාඩ් සිද්ධිය ගැන තවත් අනාවරණයක්

ජූනි 17, 2020

    ඇවන්ගාඩ් සිද්ධිය මත ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගෙන ප්‍රජා අයිතිය අහෝසි කිරීමට පසුගිය රජයේ පිරිසක් සැලසුම් කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්‍ෂ මහතා අනාවරණය කළේය.

    ඒ, දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අද සාක්‍ෂි ලබාදෙමින්.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, අනුර කුමාර දිසානායක සහ හිටපු නාවික හමුදාපති රවීන්දු විජේගුණරත්න, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර, ජනාධිපති නීතිඥ දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ යන මහත්ම, මහත්මීන් ඇතුළු 17 දෙනෙකු අද කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබිණ.

    එහෙත්, අද විත්ති පාර්ශ්වයෙන් පැමිණ සිටියේ, පාඨලි චම්පික සහ ශානි අබේසේකර යන මහත්වරුන් ඇතුළු කිහිප දෙනෙකු පමණි. නොපැමිණි අයට යළි නොතීසි නිකුත් කරන ලෙස ජනාධිපති කොමිසම නීතිපතිවරයාට දැනුම් දුන්නේය. පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්‍ෂ මහතා අද සාක්‍ෂි ලබාදුන්නේය. 2015 වසරේ ලංකාදීප පුවත්පතේ පළවූ පාවෙන අවි ගබඩාව අත්අඩංගුවට ගැනීමට අදාළ ප්‍රවෘත්තිය පිළිබඳ ඔහු දැනුවත්ව සිටියාද යන්න පැමිණිලි පාර්ශ්වයේ නීතිඥවරයා එහිදී විමසා සිටියේය.

    විජේදාස රාජපක්‍ෂ මහතා කියා සිටියේ 2015 වසරේ තමා ඇවන්ට්ගාඩ් ආරක්‍ෂක සේවය ගැන දැන සිටිය ද මුහුදේ දී ආරක්‍ෂාව සැපයීම සම්බන්ධයෙන් දැන නොසිටි බවයි. අදාල නෞකාව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විදේශ ආයතන කිහිපයක් තමාගෙන් විමසා සිටි බවත්, එය නීති විරෝධි ගනුදෙනුවක් නොවන බවත්, ජාත්‍යන්තරය හා එක්ව කරන සේවයක් බවට ඔවුන් පෙන්වා දුන් බවයි, විජේදාස රාජපක්‍ෂ මහතා සඳහන් කළේ. පසුව මේ පිළිබඳ එවකට අග්‍රාමාත්‍යවරයාගේ දැනුම් දීමකට අනුව, තමා ඒ පිළිබඳව සොයා බැලූ බවත්, එම සමාගම නීත්‍යානුකූල එකක් බවට එවකට අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා දැනුවත් කළ බවත් ඔහු කියා සිටියේය. ඇවන්ගාඩ් සිද්ධිය මත ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නීතිය යොදා ගැනීම සඳහා 2013 වසරේ පෙබරවාරි මාසයේ දිනෙක රාජිත සේනාරත්න මහතාගේ නිවසේ සාකච්ජාවක් තිබෙන බවට තමාට තොරතුරක් ලැබුණු බව ඔහු සඳහන් කළේය. ඊට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක සහ එවකට නීතීඥ ජේ.සී. වැලිඅමුණ එන බවත්, සී අයි ඩී නිලධාරියෙකු අනන්‍යතාව හෙළි නොකර, තමා දැනුවත් කළ බව විජේදාස රාජපක්‍ෂ මහතා පැවසුවේය.

    ඔවුන් කෙටුම්පත් කළ ලිපියක් නීතිපති දෙපාර්තමේන්තුවට යවා නියෝගයක් ලබාගෙන වසන්ත නවරත්න බණ්ඩාර නමැති අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ අත්සන මත රාජපක්‍ෂවරුන් 9 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට දැනුම් දී ඇති බව අදාළ රහස් පොලිස් නියෝජිතයා තමාට පැවසූ බව ඔහු කියා සිටියේය. මේ සම්බන්ධයෙන් අපරාධ යුක්ති කොමිෂන් සභාවක් ගෙනවිත් ගෝටාභය රාජපක්‍ෂ ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන පනතක් ගෙන ඒමට ද පිරිසක් උත්සහ කළ බව විජේදාස රාජපක්‍ෂ මහාත ප්‍රකාශ කළේය.

    එම දේශපාලනඥයින් තමාව හොරු රකින ඇමතිවරයෙකු ලෙස චෝදනා කළ බව ද ඔහු පැවසුවේය. එහිදී ජනාධිපති නීතිඥවරයා විමසා සිටියේ, මෙම ඇවන්ට්ගාඩ් නඩුව ආන්දෝලනාත්මක සිද්ධියක් වූයේ එම දේශපාලනඥයන්ගේ මතය සමාජගත කළ නිසාද යන්නයි. එහිදී විජේදාස රාජපක්‍ෂ මහතා කියා සිටියේ, එම දේශපාලන පිරිස් ගෝඨාභයගේ හයිය තියෙන්නේ ආවන්ට්ගාඩ් කාරයාගේ මුදල් නිසා බවත්, මේ මි නිස්සු ටික හිරේ දැම්මේ නැත්නම් තමන්ට ආණ්ඩුව වැඩි කාලයක් ගෙනයන්න නොහැකි බවත් අගමැති නිල කාර්යාලයේ තිබූ සාකච්ජාවකදී ප්‍රකාශ කළ බවයි. කොමිසම ලබන 23 හා 26 යළි කැඳවීමට නියමිතයි.

    Latest News