ඇවන්ගාඩ් නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරීම සඳහා දින නියම කරයි

ජූලි 30, 2020

    ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 02 වන දා ආරම්භ කරන බව කරන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.

    ඒ, 2012 වසරේ ගාලු වරායට ආසන්න බේරුවල මුහුදු තීරයේ එම්.වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ගිනිඅවි 816 ක් සහ උණ්ඩ 203395 ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවකට අනුවයි.

    මෙම නඩුව අද ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුවේ සාක්ෂියක් වශයෙන් ජංගම දුරකථන කෙටි පණිවිඩයක් නම් කර ඇති බව එම කෙටි පණිවිඩය අඩංගු ජංගම දුරකථනය මේ වන විට නාවික හමුදාව භාරයේ පවතින බවත් පැවසුවා.

    එම ජංගම දුරකථනය අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නාවික හමුදාව වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ජේෂ්ඨ රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ ජංගම දුරකථනය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ නාවික හමුදා මූලස්ථානයට නියෝග කළා.

    ඉන් අනතුරුව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නියෝග කළේ මෙම නඩුවේ සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 02 වන දා ආරම්භ කරන බවයි.

    2012 වසරේ ගාලු වරායට ආසන්න බේරුවල මුහුදු තීරයේ එම්.වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ගිනිඅවි 816 ක් සහ උණ්ඩ 203395 ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට දෙනකුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම චෝදනා 19 ඉදිරිපත් කර තිබුණි.

    Latest News