මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය ගැන නියෝගය ලබන සඳුදා

ජූනි 16, 2020

    හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නේ ද? නැද්ද? යන තීන්දුව මේ මස 22 වන දා ප්‍රකාශයට පත්කරන බව කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය අද නියෝග කළා.

    රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා විසින් ගොනුකර ලද පැමිණිල්ල අද දෙවන දිනටත් කොළඹ දිසා අධිකරණය හමුවේ සලකා බැලුණා.

    එහිදී අදාළ පැමිණිල්ලේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැමිණිලිකරුවන් විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් නම් නොකිරීම බරපතළ නීතිමය දෝෂයක් බව පෙන්වා දුන්නා.

    පැමිණිලිකරුවන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයකට අනුව බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඒ අනුව අදාළ වාරණ නියෝගය නිකුත් කළ යුත්තේ එම කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන්ට බවයි පෙන්වා දුන්නේ.

    එහෙත් ඔවුන් අදාල පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් නොකිරීම නිසා පැමිණිලිකරුවන් ඉල්ලා සිටින වාරණ නියෝගය නිකුත් කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති බව ජනාධිපති නීතිඥවරයා තර්ක කළා.

    සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය නැමැති පක්ෂය ස්ථාපිත කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගනු ලැබූ තීරණයකට අනුව බවට පැමිණිලිකාර පාර්ශවය ඉදිරිපත් කරන තර්කය මුළුමනින්ම අසත්‍ය බවයි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ.

    සමගි ජන බලවේගය ස්ථාපිත කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි වී නොමැති බව සඳහන් කළ ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා පැමිණිලිකරුවන් මේ වනවිට සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය ලබා ගනිමින්, එම පක්ෂය යටතේ මැතිවරණයට තරග කිරීමට නාම යෝජනා භාරදී ඇති නිසා ඔවුන්ට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දැරිය නොහැකි බවද පෙන්වා දුන්නා.

    පැමිණිලිකරුවන් ඉල්ලා සිටින වාරණ නියෝගය ලබාදුනහොත් ඔවුන් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් බව අඟවමින් එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ ඡන්ද අත්පත් කරගත හැකි අවදානමක් මතුව තිබෙන හෙයින් ඔවුන් ඉල්ලා සිටින වාරණ නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන ලෙසයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය පැමිණිලිකරුවන් ඉල්ලා සිටින වාරණ නියෝගය නිකුත් කරන්නේද? නැද්ද? යන්න තීන්දුව ලබන 22 වන දා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළා.

    Latest News