මුළු දිවයිනටම අද සිට ඇඳිරි නීතිය ලිහිල් වෙයි

මැයි 26, 2020

    අද(26) සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් කර ඇති අතර, එය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි.

    ඒ අනුව දින 66 කට පසු පළමුවරට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා ද අද දින සිට ඇඳිරි නීතිය ලිහිල් වෙනු ඇත.

    නමුත් කොළඹ හා ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයට අද සිට අවසර හිමි වෙයි.

    ඇඳිරි නීතිය ලිහිල් කළ ද කර්මාන්තශාලා, ආයතන, කාර්යාල සහ වෙළෙඳසැල් පවත්වාගෙන යාමේදීත්, මගී ප්‍රවාහනයේදීත් කොරෝනා වෛරසය පාලනය සඳහා සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති පිළිවෙත් මුළුමනින්ම අනුගමනය කළ යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    විෂබීජහරණය, මුඛ ආවරණ පැළඳීම, විටින් විට අත් සේදීම සහ සමාජ දුරස්ථතාව තබා ගැනීම ඊට අයත්.

    රාජ්‍ය,පෞද්ගලික දෙඅංශයේ ආයතනවල සේවයට කැඳවන සේවක සංඛ්‍යාව, කැඳවන්නේ කුමන සේවකයන්ද යන්න ඒ ඒ ආයතනය සලසන සේවාව සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ පදනම් කොටගෙන තීරණය කිරීම ආයතන ප්‍රධානීන්ට පැවරේ.

    ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුවද සෞඛ්‍ය නියමයන් පිළිපදිමින් එදිනෙදා කාර්යයන්හි නිරත වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Latest News