කොවිඩ්-19 අද වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 41ක්

මැයි 25, 2020

    කොවිඩ්-19 රෝගය වැළඳී මියගිය කාන්තාවගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු අද (25) රාත්‍රියේම සිදු කිරීමට නියමිතයි. මියගිය කාන්තාවත් සමඟ මෙරටින් වාර්තා වූ කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගියේය.

    මරණයට පත්වී ඇත්තේ 51 හැවිරිදි කාන්තාවක්. කුවේට් සිට පැමිණ, ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටියදී ඇය හදිසියේම මියගොස් තිබේ. එම කාන්තාවට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    කොවිඩ්-19 රෝගය වැළඳණු බවට අද දිනය තුළ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව, 41ක්. ඔවුන් සියලු දෙනාම කුවේට් සිට මෙරටට පැමිණ, ත්‍රිකුණාමලය සහ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින්. කොවිඩ්-19 රෝගය වැළඳුණු 477ක් මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී. සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 695ක්.

    කොවිඩ්-19 රෝගය වැළඳී සුවවු සංඛ්‍යාව, තවදුරටත් ඉහළ ගොස් තිබේ. සුව වූ ප්‍රතිශතය 58ක් වන අතර, ප්‍රතිකාර ලබන ප්‍රතිශතය ලෙස වාර්තා වන්නේ 40ක් ලෙසයි. මරණ ප්‍රතිශතය 0.84ක්වේ.

    කොවිඩ්-19 රෝගය වැළඳුණු තවත් 52 දෙනෙකු ඊයේ හඳුනා ගැණින. ඔවුන්ගෙන් 49 දෙනෙකුම කුවේට් සිට මෙරටට පැමිණි පුද්ගලයින්. දෙදෙනෙකු ආරක්‍ෂක අංශ සාමාජිකයින් බව වාර්තාවේ. අනෙක් පුද්ගලයා ඉන්දුනිසියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙක්.

    තෝරාගත් පුද්ගලයන් සඳහා PCR පරීක්‍ෂණ සිදු කිරීම අඛණ්ඩව ක්‍රියාත්මකයි. කොළඹ නගරයේ කුලී රථ රියදුරන් සහ ආහාර ප්‍රවාහනය කරන පුද්ගලයින් 30 දෙනෙකුගේ PCR පරීක්‍ෂණ සිදු කිරීම සහ රුධිර සාම්පල ලබාගැනීම නුගේගොඩදී අද සිදු කෙරිණ. ඒ කොළඹ නගර සභාව විසින්.

    කොවිඩ්-19 රෝගය ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව රුසියාවේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 181 දෙනෙකු අද අළුයම මෙරටට පැමිණියේය. පිරිස ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ. එල් 1206 දරණ ගුවන් යානයෙන් මොස්කව් නුවර සිටයි මෙරටට පැමිණියේ. රුසියාවේ සිට මෙරටට ගෙන්වාගත් දෙවන කණ්ඩායම මෙයයි. විෂබීජානුහරණයෙන් අනතුරුව, සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඔවුන් විශේෂ බස් රථවලින් නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන යනු ලැබුවේ යුද හමුදාව විසින්.

    බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් පිරිසක් සිය නිරෝධායන කාලසීමාව අද අවසන් කළේය. එම පිරිසට 14 දෙනෙකු අයත්. ජාත්‍යන්තර නෞකා ආරක්‍ෂණ රාජකාරින්හි නියුතු පුද්ගලයින් පිරිසකුයි, මෙහි නිරෝධායනයට ලක් කෙරුණේ. නිරෝධායනය අවසන් කළ බවට දෙන සහතිකය ද ඔවුන්ට පිරිනැමිණ. මෙම නිරෝධායන මධ්‍යස්ථානයේ තවත් 85ක පිරිසක් නිරෝධායනය වෙමින් සිටී.

    බොරැල්ල ආයුර්වේද ශික්‍ෂණ රෝහලේ පවත්වාගෙන යනු ලබන නිරෝධාය මධ්‍යස්ථානයේ සිටි පිරිසක් ද සිය නිරෝධායන කාලසීමාව අද (25) අවසන් කරනු ලැබීය. එම පිරිසට 39 දෙනෙකු අයත්. ඔවුන් පසුගියදා මැලේසියාවේ සිට මෙරටට පැමිණ තිබේ. නිරෝධායනය අවසන් කළ බවට වන සහතිකය ද ඔවුන්ට පිරිනැමිණ.

    Latest News