පහත් පතුල් සහිත බස් රථ ගෙන්වීමට ගත් තීරණය වෛද්‍යවරුන්ගේ ඇගයීමට

මැයි 24, 2020

    ලංකා ගමනාගමන මණ්ඩලය සඳහ පහත් පතුල් සහිත බස් රථ ( Low Floor Busses ) ගෙන්වීමට ගත් තීරණය මහත් සේ අගය කරන බව වෛද්‍යවරු පවසති.

    එමෙන්ම දැනට භාවිතා කරන බස් රථ තවදුරටත් ගෙන්වීම අවසන් කිරීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ගන්නා ලද තීරණය ද ඇගයීමට ලක්ව තිබේ.

    පසුගිය සතියේ ප්‍රවාහන සේවා සම්බන්ධව පැවැති සාකච්ඡාවක දි එම රැස්වීමට සහභාගි වූ වෛද්‍යවරු විසින් මේ බව ප්‍රකාශ කළේය. විශේෂයෙන් ම දැනට අප රටේ භාවිතා කරන්නේ මගී ප්‍රවාහන සේවා සඳහා උචිත බස් රථ නොවේ. ලොරි චැසියට බස් බොඩි ගසන ලද බස් රථ ලෙස හැඳින්වෙන මෙම බස් රථ මාර්ග සංවර්ධනය නොවු නිසා ඊට ඔරොත්තු දීමට පමණක් උචිත බැවින් ගෙන්වීමට පියවර ගනු ලැබීය. නමුත් මේ වනවිට නාගරික ප්‍රදේශවල මෙන්ම ඇතැම් ග්‍රාමීය මාර්ග පද්ධතියද සංවර්ධනය වී ඇති බැවින් තවදුරටත් එම බස් රථ ආනයනය කිරීම අත්හිටුවීමට තීරණය කර තිබේ.

    bus.jpg

    ඒ අනුව ඉදිරි මාස තුන තුළ පහත් පතුල් සහිත බස් රථ 80ක් නාගරික මාර්ගවල ධාවනය සඳහා එක් කිරීමට කටයුතු යොදා තිබේ. නමුත් ලොරි චැසියට බස් බොඩි ගැසූ බස් රථ 600ක් අවසන් අවස්ථාව ලෙස ගෙන්වීමට කටයුතු යොදා ඇත.

    දැනට ධාවනය කෙරෙන බස් රථවලට ගොඩ වීමේ දී ආබාධ සහිත තැනැත්තන් ඉතාමත් අපහසුතාවයට ලක් වන බව කී වෛද්‍යවරු ප්‍රවාහන සේවා සැළසීමේ දී යම් යම් ශාරිරික දුබලතාවලට ලක් ව සිටින මගී ජනතාව කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බව සඳහන් කළේය. එමනිසා දැනට ආනයනය කරන මගීන්ට අපහසුතා ඇති කරන බස් රථ වෙනුවට පහත් පතුල් සහිත බස් රථ ගෙන්වීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගත් තීරණය අගය කරන බව ද මෙම සාකච්ඡාවට එක් වු වෛද්‍යවරු ප්‍රකාශ කළහ.

    මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පුද්ගලික අංශය විසින් ගුණාත්මක බවින් ඉහළ බස් රථ ගෙන්වීම සඳහා උනන්දු කිරීමට පියවර ගන්නා බවත්, ඒ සඳහා ඔවුන්ට සහන සැලසීමට රජය වශයෙන් පියවර ගන්නා බවත්ය. එමෙන්ම ප්‍රවාහන පහසුකම් නංවාලීමේ දී හැකි තරම් වෛද්‍ය අංශවල උපදෙස් ලබා ගැනීමට පියවර ගන්නා ලෙසත් නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉළක්කය වී ඇත්තේ මේ පොදු ප්‍රවාහන සේවාව හැකි තරම් පහසුකම් සහිත තත්ත්වයට පත් කිරීම බවත්, පොදු ප්‍රවාහන සේවා විදිමත් කිරීම මගින් වාහන තදබදයට පිළියම් සෙවීම එතුමන්ගේ අරමුණ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    Latest News