ඇඳිරි නීතිය නැති දිස්ත්‍රික්කවල බස් හා දුම්රියේ ආසන ගණනට මගීන් ප්‍රවාහනයට හෙට සිට අවසර

මැයි 12, 2020

    ඇඳිරි නීතිය තවමත් ක්‍රියාත්මක දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල පුද්ගලික හා ලංගම බස් රථවල හා දුම්රියේ ආසන ගණනට මගීන් ප්‍රවාහනයට හෙට සිට අවසර ලබාදී තිබේ.

    ඒ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ අංශ සමඟ කළ සාකච්ජාවලින් අනතුරුවයි.

    පළාත් ප්‍රවාහන නිලධාරීන්, අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම මගී ප්‍රවාහන සේවාවල නිරත සංගම්වල නියෝජිතයින් ද සාකච්ජාවට එක්වූහ. සියළුම පුද්ගලික බස් රථවල ප්‍රවාහන කටයුතු හෙට සිට ආරම්භ කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ සංගම්වලින් ඉල්ලීමක් කළේය. ඇඳිරි නීතිය ක්‍රියාත්මක දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ආසන ගණනට මගීන් ප්‍රවාහනය කරනු ලැබුවත්, එහිදී ප්‍රමුඛස්ථානය ලබාදිය යුත්තේ, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවය සඳහා වාර්තා කරන පිරිස් සඳහායි. සාමාන්‍ය මගී ජනතාවට ප්‍රවාහන සේවා සැපයීමේදී අත්‍යවශ්‍ය කාරණා සඳහා පමණක් සීමා කෙරේ. බස් රථවල ගමන් කිරීමේදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය වන අතර, මුව ආවරණ නොමැති කිසිවෙක් බස් රථවලට ඇතුළු කර නොගැනීමට ද සාකච්ජාවේදී තීරණය විය. බස් මගීන් බස් රථයට පිටුපස දොරින් ඇතුළු වී ඉදිරිපස දොරින් බැස යා යුතුය. විෂබීජ නාශක සෑම බස් රථයකම තිබිය යුතු අතර, බස් නැවතුම්පොළවල අත් සෝදා ගැනීමේ පහසුකම් සලසා තිබිය යුතුය. දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මෙන්ම වාර ප්‍රවේශ පත්‍ර නොමැති අයට ටිකට්පත් නිකුත් කිරීම සිදු කෙරෙන අතර, එහිදී ඔවුන් සේවය කරන ආයතනයේ හැඳුනුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

    Latest News