ලක්දිව සමාගමෙන් මසක් ඇතුලත බස් 6ක් ධාවනයට (ඡායාරූප)

පෙබ 19, 2019

    ප්‍රවාහන අමාත්‍යංශයට අයත් ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම සිය කාර්යක්ෂමතාව 100% වර්ධනය කරමින් මාසයක් ඇතුළතදී නවීකරණ කළ බස් රථ හයක් ධාවනය සඳහා අලුත්වැඩියා කිරීමට සමත් වේ.

    එම බස් රථ ධාවනය සඳහා ඩිපෝවලට භාර දීම අද(19) සිදු කෙරුණේ ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදීය.

    නුවරඑළිය, ඇඹිලිපිටිය, බණ්ඩාරවෙල, මොරටුව, මීතොටමුල්ල, ගම්පහ යන ඩිපෝවලින් ලැබුණු ඇණවුම් මත එම ඩිපෝවල ඉතා අබලන් තත්ත්වයේ පැවැති බස්රථ එලෙස නවීකරණය කර තිබේ. එමඟින් ඒකල ලක්දිව ඉංජිනේරු සමාගමට ලැබුණු ආදායම පමණක් මිලියන 13ක් වන බව වාර්තාවේ.

    උත්සවය අමතමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ ඉදිරියේදී සමාගමේ කාර්යක්ෂමතාව තව දුරටත් වර්ධනය කරමින් එක් මසක් තුළදී නවීකරණය කරන බස්රථ සංඛ්‍යාව හයේ සිට දොළහ දක්වා වර්ධනය කිරීමට අපේක්ෂා කරන බවයි. බස්රථ අලුත්වැඩියා කිරීමේ මූලික ව්‍යාපාරයට අමතරව වෙනත් ව්‍යාපාර ඔස්සේ ආදායම් ලැබ සමාගම තවත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

    “ලක්දිව ඉංජිනේරු ආයතනයේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ හා පෞද්ගලික බස් හිමියන්ගේ අබලන් වන මගී බස් රථ සහනදායී මිලකට උසස් තත්වයෙන් අලුත්වැඩියා කිරීමයි. එතැනදී අපි විශේෂයෙන්ම ශ්‍රී ලංගම බස් රථ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. මෙහි වැඩපළට ගෙන එන්නේ බොහෝ අබලන් බස්රථ. නමුත් මෙහි සේවකයින් වැඩපොළින් එළියට නිකුත් කරන්නේ වර්තමානයේ ආනයනික තත්ත්වයේ බස්රථ. මෙහි සිටින සේවකයින් ඉතා දක්ෂයින්. මම දන්න විදියට මෙම ආයතනයේ සේවකයින්ට තේ එකක්වත් දෙන්නේ නැහැ. එහෙම දුක් විදලා තමයි මේ ආයතන රැක ගන්න සේවකයින් කැප වෙන්නේ. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරියේදී සේවකයින්ගේ සුභ සාධන අංශය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ අරමුණ වන්නේ මේ ආයතන පෞද්ගලිකකරණය කරන්න නෙමෙයි. ආරක්ෂා කර ගන්න. එතැනදී අපිට ගොළුබෙලි ගමනින් යන්න බැහැ. ගොළුබෙල්ලෝ වගේ කටුවකට සිරවෙලා ඉන්නත් බැහැ. ඒනිසා බස් රථ අලුත්වැඩියාවට පමණක් සීමා නොවී වෙනත් ව්‍යාපාර කෙරහිත් සමාගමේ අවධානය යොමු කරමින් සිටිනවා. විශේෂයෙන්ම සමාගමේ තියෙන සම්පත් එක්ක අපිට පුළුවන් දුම් පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථානයක් ඇති කරන්න. රියදුරු පුහුණුවීම් මධ්‍යස්ථානයක් ඇති කරන්න. වාහන අලුත් වැඩියා අභ්‍යාස ආයතනයක් ආරම්භ කරන්න. මේ වගේ මූලික ව්‍යාපාරයට අමතරව වෙනත් වෙනත් ව්‍යාපාරවලට අවධානය යොමු කිරීමෙන් සමාගම තවත් දියුණු කළ හැකි බව මම විශ්වාස කරනවා...”යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩි දුරටත් කියා සිටියේය.

    වත්මන ලක්දිව ඉංජිනේරු පුද්ගලික සමාගම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඒකල මධ්‍යම වැඩපල නමින් ආරම්භ කළේ 1974 වසරේ මාර්තු මස 14 වැනිදායි. 1993 ජුනි මස 14 වැනිදා එම ආයතනය ජනතාකරණ සංකල්පය යටතේ ඒකල ඉංජිනියරින් වර්ක්ස් ලෙසින් නම් කෙරිණ. ඒ වන විටත් එහි සේවකයින් තුන්දහසකට අධික සංඛ්‍යාවක් සිටිය මුත් 1994 දෙසැම්බර් මස 19 වැනිදා සමාගම වසා දැමිණ. එය රජය සතු සමාගමක් ලෙසට නැවත වරක් ආරම්භ වන්නේ 2001 වසරේ අප්‍රේල් මාසයේදීයි. කෙසේනමුත් එතැන් සිට 2018 වසර දක්වාම මෙම සමාගම සක්‍රියව පැවැතියේ මහා භාණ්ඩාගාරයේ ප්‍රතිපාදන මත වේ. එම සමාගම ලාභ ලබන ආයතනයක් බවට පත් වීම ආරම්භ වන්නේ 2018 වසරින් පසුවය. එහි වැඩපල අක්කර 24කින් යුක්ත වන අතර දැනට සමාගමේ සිටින මුළු සේවක සංඛ්‍යාව 87කි. එම සේවකයින් මුහුණ දෙන ගැටළු විමසා බැලීමද අද අර්ජුන රණතුංග අමාත්‍යතුමා විසින් සිදු කෙරිණ. උත්සවයට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති, ඒකල ලක්දිව ඉංජිනේරු සමාගමේ සභාපති ඊ. ඒ. ටී. එදිරිසූරිය, සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ඩි. වී. විමලසිරි යන මහත්වරුන් ඇතුළුව සම්භාවනීය අමුත්තන් රැසක් එක් වූහ.

    Bus 02

    Bus 01

    Latest News