කොවිඩ්-19 රෝගයට ප්‍රතිචාර දැක්වීමේ දී ශ්‍රී ලංකාව සෙසු දකුණු ආසියානු රටවල් අභිබවා ඉදිරියෙන් (වීඩියෝ)

මැයි 12, 2020
  • කොවිඩ්-19 රෝගයට ප්‍රතිචාර දැක්වීමේ දී ශ්‍රී ලංකාව සෙසු දකුණු ආසියානු රටවල් අභිබවා ඉදිරියෙන් සිටින බව, ඉන්දීය වෙබ් අඩවියක් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

    වෛද්‍ය හා යටිතල පහසුකම් යන දෙඅංශයෙන්ම ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව මෙහිදී තහවුරු වී ඇත.

    ඉන්දියාවේ “ ද වයර් නමැති ප්‍රකට වෙබ් ප්‍රවෘත්ති අඩවියේ ඇතුළත් ගවේශණාත්මක ලිපියකින් දකුණු ආසියානු රටවල් කොවිඩ්-19 රෝගයට ප්‍රතිචාර දැක්වූ ආකාරය විශ්ලේෂණාත්මකව සංසන්දනය කර තිබේ. අධ්‍යයනය සිදු කරනු ලැබුවේ, දීපංකර් බාසු හා ප්‍රියංකා ශ්‍රී වාස්තව යන මාධ්‍යවේදීන් විසින්. එහිදී ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය හා පකිස්තානය යන රටවල ප්‍රතිචාරය සලකා බැලිණ. ඔවුන් ලෝක බැංකුව, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ආයතන රැසක් සතු දත්ත සංසන්දනය සඳහා යොදා ගෙන තිබේ. එමඟින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව වෛද්‍යවරුන් සංඛ්‍යාවෙන් හා රෝහල් පහසුකම් අතින් සෙසු දකුණු ආසියානු රටවල් තුනටම වඩා ඉදිරියෙන් සිටින බවයි. එමෙන්ම, කොවිඩ්-19 රෝගයට ප්‍රතිචාර දැක්වීමේ දී ශ්‍රී ලංකා රජය අනෙක් රටවල් තුනම අභිබවා ඇතැයි පෙන්වා දී තිබේ.

     

    ශ්‍රී ලංකා රජය සමාජ දුරස්ථකරණ ක්‍රියාවලිය ආරම්භ කළේ, ජනවාරි 20 තරම් ඈත කාලයක බවත්, සෙසු රටවල් එම අවස්ථාවේ රෝගය පිළිබඳව නිසි ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවත් ලිපියේ සඳහන්. එමෙන්ම, විදේශයන්හි සිට පැමිණෙන්නන් නිරෝධායනයට ලක්කිරීම, රෝගය ව්‍යාප්තවීමත් සමඟ ඇඳිරිනීතිය ඇතුළු සීමාවන් ක්‍රියාත්මක කිරීම හා ඒ තුළින් පීඩාවට පත්වන ජන ජිවිතය යථා තත්වයට පත් කිරීමේ විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය කිරීම අතින් ද ශ්‍රී ලංකා රජය ඉදිරියෙන් සිටින බව එහි දැක්වේ. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම, ආර්ථිකය හා ජන ජිවිතය නඟා සිටුවීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් ස්ථාපනය කිරීමෙන් විධිමත් ක්‍රියාවලියක් මෙහෙවීමට ශ්‍රී ලංකාව සමත් වූ බව “ද වයර්“ වෙබ් අඩවිය පෙන්වා දෙයි.

    Last modified on අඟහරුවාදා, 12 මැයි 2020 20:13

    Latest News