ජාත්‍යන්තර හෙද දිනය අදයි (වීඩියෝ)

මැයි 12, 2020
  • ජාත්‍යන්තර හෙද දිනය අදයි. “සෞඛ්‍යවත්‌ ලොවකට හෙදියගේ හඬ නායකත්වයට” මෙවර තේමාවයි.

    ශ්‍රී ලංකාව ඇතුළු මුළු ලෝකයම මෙවර ජාත්‍යන්තර හෙද දිනය සමරන්නේ හෙදියගේ කාර්ය භාරය අති විශිෂ්ට අන්දමින්‌ සිදුවන මොහොතකයි. ඒ, මුළු ලොවටම වසංගතයක්ව පවතින කොරෝනා වෛරසය මැඩපැවැත්වීමේ අභියෝගයට මුහුණ දී ඇති අවස්ථාවකයි.

    1820 මැයි 12 වැනි දින ෆ්ලොරොන්ස්‌ නයිටින්ගේල්‌ ආර්යාව උපත ලැබීය. 1854 මාර්තු මස ක්‍රිමියානු යුද්ධයේ තුවාල ලැබූ බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට කරුණාවෙන්‌ ඇය උපස්ථාන කළාය. නූතන හෙද සේවාවේ නිර්මාතෘවරිය වන්නේ ඇයයි. නයිටින්ගේල්‌ ආර්යාවට කෘතවේදීත්වය පුද කරමින්‌ ඇයගේ උපන්‌ දිනය යෙදෙන මැයි 12 වැනි දින ජාත්‍යන්තර හෙද දිනය ලෙස නම්‌ කෙරිණ. අද අප ගෙවමින්‌ සිටින්නේ, සමස්ත ලෝක ප්‍රජාවම අර්බුදයකට මුහුණ පා සිටින කාල වකවානුවකයි‌. කොරෝනා වෛරසය, ලොව බොහෝ රටවල ශීඝ්‍රයෙන්‌ ව්‍යාප්ත වෙද්දී අප රට එය සාර්ථකව පාලනය කරමින්‌ සිටියි. මේ කාර්යයේදී හෙද හෙදියන්ගෙන්‌ ලැබුණු දායකත්වය ද අති විශිෂ්ටයි. ඔවුන්‌ දිවා රෑ නොබලා එම රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ කටයුතුවල නිරත වන්නේ දැඩි ආත්ම ශක්තියකිනි‌. ජනතාව ලෙස ඔවුන්‌ කරන කාර්යයට කෘත ගුණ දැක්වීමක්‌ ලෙස අපට කළ හැක්කේ නිසි සෞඛ්‍ය උපදෙස්‌ පිළිපදිමින්‌ කොරෝනා වසංගතය අපි රටින්‌ දුරු කිරීමේ වගකීම නිසි ලෙස ඉටු කිරීමයි.

    Last modified on අඟහරුවාදා, 12 මැයි 2020 20:09

    Latest News