ගොවි බිම්වලින් සෘජුවම ලබාගත් එළවළු සහනදායී මිලකට පාරිභෝගිකයාට (වීඩියෝ)

අප්‍රේ 12, 2020
  • ගොවි බිම්වලින් සෘජුවම ලබාගත් එළවළු සහනදායී මිලකට පාරිභෝගිකයාට ලබාදීමේ වැඩසටහන අද ආරම්භ කෙරිණ.

    ගොවි බිම්වලට ගොස් එළවළු එක්රැස් කිරීමේ වැඩසටහන විශේෂ ආර්ථික මධ්‍යස්ථාන හා එළවළු එක් රැස් කිරීමේ මධ්‍යස්ථාන ආශ්‍රිතව ඊයේ සහ අද සාර්ථකව සිදු කෙරිණ.

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමට පියවරක් වශයෙන් ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පසුගියදා තීරණය කළේය. එබැවින් අගතියට පත්වන පාර්ශවයන්ට සාධාරණය ඉටු කිරීම සඳහායි, රජය එළවළු හා මාලු මිලදී ගැනීම ආරම්භ කලේ. ඊයේ දිනයේ දී පමණක් රජය එළවළු කිලෝ ග්‍රෑම් හත් ලක්‍ෂ පනස් දහසක් මිලදී ගත්තේය.

    නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් එළවළු මෙට්‍රික් ටොන් තුන් ලක්‍ෂ පනස් දහසක් මිලදී ගෙන ඇති අතර, ඒවා කොළඹ, ගම්පහ, කලුතර, මාතර, අනුරාධපුර හා මහනුවර යන දිස්ත්‍රික්කවල හඳුනාගත් පළාත් පාලන ආයතන වෙත බෙදාදීමට නියමිතයි.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු සපයන ගොවීන්ගෙන් මෙට්‍රික් ටොන් ලක්‍ෂ 04ක් පමණ මිලදී ගෙන අවසන්. එම එළවළු ලොරි රථ 50ක් මගින් මාතලේ හා බදුල්ල දිස්ත්‍රික්කයේ හඳුනාගත් පළාත් පාලන ආයතන වෙත බෙදා හැරෙමින් පවතී.

    අනුරාධපුර හා මහවිලච්චිය ග්‍රාමයේ වට්ටක්කා වගාවෙන් ලැබී ඇති විශාල ඵලදාව මිලදී ගැනීමට වහා පියවර ගන්නැයි, රජය අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයාට දැනුම් දී තිබේ. අවශ්‍ය මුදල් දිස්ත්‍රික් ලේකම්වරයාට ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට උපදෙස් දී තිබේ. මිලදී ගන්නා වට්ටක්කා තොග අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයාගේ ද සහය ඇතිව, කොළඹට ගෙන්වා අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදාදීමට නියමිතයි. සිය ඵලදාව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත බාරදෙන ලෙස රජය ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී.

    තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයෙන් රජය ඊයේ සහ අද එළවළු කිලෝ එක් ලක්‍ෂ අසූ දහසකට ආසන්න සංඛ්‍යාවක් මිලදී ගෙන තිබේ. මිහින්තලය ගොවි නිෂ්පාදන බෙදා හැරීමේ සම්බන්ධීකරණ කාර්යාලයෙන් එළවළු කිලෝ එක් ලක්‍ෂ හතළිස් එක් දහසක් මේ වනවිට මිලදී ගෙන ඇතැයි මෙහෙයුම් නිලධාරි කර්නල් රුවන් මිල්ලවාන මහතා පවසයි. සිවිල් ආරක්‍ෂක බලකායේ නිලධාරීන් ගොවි බිම්වලට ගොස් කෘෂි නිෂ්පාදන මිලදී ගත්තේය. ඒවා බස්නාහිර පළාතේ හඳුනාගත් පළාත් පාලන ආයතන වෙත බෙදා හැරීම ආරම්භ වුයේ ඊයේ රාත්‍රියේ සිටයි.

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගේ නිෂ්පාදන මිලදී ගැනීම අද ආරම්භ විය. එම දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර්. රත්නායක මහතා මෙය අධීක්‍ෂණය කළේය. තඹුත්තේගම, දඹුල්ල හා නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානවලින් රජය මිලදී ගත් එළවළු මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කය වෙත ලැබෙමින් පවතින බව දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි. කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ජනතාවක් වෙසෙන මැතිවරණ බල ප්‍රදේශය වන කඩුවෙල ප්‍රදේශයේ එළවළු බෙදාහැරීම අද සාර්ථකව සිදු කෙරිණ. එය මෙහෙයනු ලැබුවේ කඩුවෙල මහනගර සභාව විසින්. දිවයිනේ බොහෝ ප්‍රදේශ ආවරණය වන පරිදි එළවළු හා මත්ස්‍ය නිෂ්පාදන බෙදා හැරීමට ද සියලු කටයුතු සූදානම් කර තිබේ. මේ අතර, අත්‍යවශ්‍ය සේවාවලට අවශ්‍ය භාණ්ඩ සැපයීම සඳහා නාරහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානය හෙට දිනයේ විවෘතව තබන බව, එහි කළමනාකරු පවසයි.

    Last modified on ඉරිදා, 12 අප්‍රේල් 2020 20:03

    Latest News