ඊයේ (02) අරලියගහ මන්දිරයේ පැවැති සර්වපාක්ෂික නායකයින්ගේ සහ නියෝජිතවරුන්ගේ හමුව අතරවාරයේ දී කොරෝනා වංසගතයෙන් මරණයට පත්වන මුස්ලිම් පුද්ගලයින්ගේ මෘත දේහ ආගමානුකූලව භූමිදානය කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු මුස්ලිම් පක්ෂ නියෝජිතයින් යොමු කළ ගැටලුවට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
කොරෝනා වෛරසය හඳුනාගෙන තවම මාස තුනයි. මේ වෛරසයේ හැසිරීම පිළිබඳව තවම නිසියාකාර තොරතුරු හඳුනාගෙන නැහැ. එසේම බෝවෙන වෙනත් ක්‍රම පෙන්නුම් කරමින් තිබෙන බවත් කොරෝනා වසංගතය පැතිරීමේ අවදානම වළක්වා ගැනීමට සෞඛ්‍ය අංශ දැඩි උත්සාහයක නිරත වන බවත් එහි දී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය. මෘත දේහ ආදාහනය කිරීමේ දී ලංකාවේ සමස්ත තත්ත්වය සළකා බැලිය යුතුය. මෙය සංවේදී කාරණාවක්. එහෙත් අප කටයුතු කළ යුත්තේ සමස්ත ප්‍රජාව පිළිබඳව අවදානය යොමු කරමින් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේත්, රවුෆ් හකීම් මහතාගේත්, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේත්, උදය ගම්මන්පිල මහතාගේත්, විමල් වීරවංශ මහතාගේත්, පවිත්‍රා වන්නි ආරච්චි මහත්මියගේත් කරුණු දැක්වීම පහත දැක්වෙයි.
රවුෆ් හකීම් මහතා
මෘත දේහ ආදහනය කිරීම පිලිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වලට අනුව නිකුත් කර තිබූ නිර්ණායකයන් වෙනස් කරමින් වසංගතයෙන් මරණයට පත්වන පුද්ගලයින්ගේ දේහයන් පිළිබඳව කටයුතු කරන ආකාරය වෙනස් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව ආදාහනය සහ භූමිදානය කියන දෙකම කරන්න පුඵවන්.
මීගමුවේ සිදුවීමත් එක්ක සමාජ මාධ්‍ය මහත් ආන්දෝලනාත්මක විදිහට හැසිරෙනවා. එහිදී මම ඉදිරිපත් කරපු කරුණු වලට අනුව මටත් අවලාද නගමින් ඉන්නවා.
අපි ලෝක ව්‍යසනයකට මුහුණ දී තිබෙන අවස්ථාවේදී මේ වගේ අවශ්‍ය නැති දේවල් වලට තර්ක කරලා වැඩක් නැහැ. මම එහෙම ආන්දොලනයක් ඇතිවෙන්න දෙයක් ප්‍රකාශ කළෙත් නැහැ. අද හැම පක්ෂයක්ම නියෝජනය කරන මන්ත්‍රීවරු මෙතනට ඇවිත් ඉන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිර්ණායකයන් වෙනස් කරමින් චක්‍රලේඛයක් නිකුත් කරලා තිබෙනවා. ඒවගේම මෘත දේහයක් හරහා වෛරසය පැතිරීම මිත්‍යාවක් කියල ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිව කියලාතියෙනවා.
එසේ තිබියදී මෙරට සෞඛ්‍ය අංශ කොරෝනා වසංගතයෙන් මරණයට පත්වූ පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ නව නිර්ණායක නිකුත් කිරීම පිළිබඳව ගැටලුවක් මතුවෙනවා.
පවතින වාතාවරණය අනුව රෝග ලක්ෂණ තිබුණ පුද්ගලයින් වුණත් රෝහල් වලට යන එකක් නැතුව ගෙදරම මැරිලා යන තත්වයක් ඇතිවෙන්න පු`ඵවන් කියන එකයි මගේ අදහස.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා.
අන්තර් ජාලයේ තිබුන නිර්දේශ නීත්‍යානුකූළ ලියවිල්ලක් නොවෙයි. එය බලසහිත වීමට නම් සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ ජනරාල් විදිහට මගේ අත්සන තිබිය යුතුයි. මගේ අත්සන සහිත නීත්‍යානුකූළ ලියවිල්ල ඊයේ ඉදිරිපත් කරනු ලැබූවා. මෙහි දී හිටපු අග්‍රාමාත්‍යවරයාත් තවත් හිටපු ඇමතිවරු කිහිපදෙනෙකුත් පරීක්ෂණ පිළිබඳව කතා කළා. මුල් අවස්ථාවේ දී අප උත්සාහ කළේ රටට වෛරසය එන එක වළක්වන්නයි. රට ඇතුලට වෛරසය ආ පසු අපි උත්සාහ කළේ රට තුළ ඒක පැතිරෙන එක වළක්වන්නයි. ක්‍රිකට් මැච් එකක් උදාහරණයට ගත්තොත් අපි එකේදි මුලින්ම උත්සාහ කරන්නේ විකට් එක බේරගන්නයි. මුලදිම හයේ ඒවා ගහන්න යන්නේ නැහැ. වැඩිපුර පරීක්ෂණ සිදු කළ යුතුයි කියන ක්‍රියාපටිපාටිය එන්නේ දෙවැනි අවස්ථාවටයි. අපි කොහොමද දැන් වයිරස් එකත් එක්ක සටන් කරන්න කියන එකයි දැන් අපි සලකා බලන්නේ. ඒ සියලු කාරණා ගත්තහම මේ වෛරසය සමාජයේ පැතිරීමට කිසි සේත්ම ඉඩ තියන්න බැහැ.
කොරෝනා වෛරසය හඳුනාගෙන තවම මාස තුනයි. මේ වෛරසයේ හැසිරීම පිළිබඳ තවමත් නිසියාකාර තොරතුරු ඉදිරිපත් වෙලා නැහැ. මේ වෛරසය බෝවීම පිළිබඳ තවත් ක්‍රම පෙන්නුම් කරමින් තිබෙනවා. වෛරසය පිලිබඳ ඇතැම් තොරතුරු අසත්‍ය බව පේනවා. අවාසනාවන්ත ලෙස වසංගතයෙන් මරණයක් වූ විට අපේ මූලික පරමාර්ථය ඉතාම ඉක්මනින් වසංගතයෙන් මරණයට පත්වූ පුද්ගලයින්ගේ අවසාන කටයුතු සිදු කිරීමයි. එවැනි විටෙක කටයුතු කලයුතු ආකාරය ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශ දක්වා තිබෙනවා. ඒ තුළින් වසංගතය පැතිරී යාමේ අවදානමක් තිබේ නම් එය වලක්වා ගන්නා අපි උත්සාහ කරනවා.
මෙවැනි මෘතදේහ භූමිදානය කිරීමේදී වැඩි කාලයක් ගත වෙනවා සහ ඊට වැඩි පිරිසක් යොදා ගැනීමට සිදුවෙනවා. අද තිබෙන තත්ත්වය අපට පාලනය කරගන්න පු`ඵවන්. නමුත් අපි නොහිතන විදිහට මරණ සංඛ්‍යාව වැඩිවුනොත් අපට කළමනාකරණය කරගන්න බැරිවෙනවා.
මෘත දේහ ආදාහනය කිරීමේදී ලංකාවේ සමස්ථ තත්වය සලකාබැලිය යුතුයි. ලංකාවේ එක එක ප්‍රදේශ වල තත්වය වෙනස්. අපිට කියන්න පුළුවන් යම්කිසි තැනක සුදුසු විදිහට කරන්න කියලා. සමස්ථ රටටම ක්‍රීයාවලියක් හදන්න අමාරුයි. ඒවගේම ඇමතිතුමිය කිව්වා වගේ ලංකාවේ වතුර මට්ටම තියෙන්නේ ඉහළින්. ඊට අමතරව අපේ පස කබොක් සහ පොහොර පසයි. මේ වෛරසය ඒ පස් ස්ථර හරහා යෑමේ තත්වයක් ඇතිවෙන්න පු`ඵවන්. ඒ වුනත් මීගමුවේ තත්ත්වය නෙවෙයි මඩකලපුවේ තියෙන්නෙ. මඩකලපුවෙ තත්වය නෙවෙයි මාතර තියෙන්නෙ. අපිට මේ කටයුතු කරන්න සිද්ධ වෙන්නේ ප්‍රජාවත් එක්ක. මේක සංවේදී කාරණාවක්.
මීගමුවේ ඇතිවූ තත්වය ගත්තොත් මීගමුවේ පොළොවේ වතුර මට්ටම ඉහළ නිසා මෘතදේහය මාලිගාවත්තට ගේන්න උත්සහ කරා නමුත් එතකොට දුර ප්‍රමාණය වැඩියි. අපේ අරමුණ වෙන්නෙ රෝගියා මොන රෝහලේ මියගියත් ඒ ලඟම තියෙන ආදාහනාගාරය තුළ අවසන් කටයුතු සිදු කිරීමයි.
උදය ගම්මන්පිල මහතා
ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වසන්ගතයෙන් මරණයට පත්වන පුද්ගලයින් ගේ මෘත දේහය තුළින් වසංගතය ව්‍යාප්ත වන එක මිත්‍යාවක් කියල කියල නැහැ. ඇත්තෙන්ම පසුගිය සෙනසුරාදා ලෝක සෞඛ්‍ය සංවිධානය එළිදැක්වූ වාර්ථාවේ තියෙන්නෙ වසංගතය මෘතදේහයක් මගින් බෝවෙන බවට සාක්ෂියක් නැහැ කියන එකයි.
ඒකට හේතුවක් තිබෙනවා. රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝග වාහකයෙක් ඉතා නිදහසේ හැසිරෙන නිසා ඔවුන්ගෙන් වැඩිපුරම බෝවෙන්න පුළුවන්. රෝගීන්ගෙන් උනත් අපි ප්‍රවේශම් වෙනවා. කොරෝනා රෝගයෙන් මරණයට පත්වූ මෘතදේහයක් සම්බන්ධයෙන් අපි ඉතා විශාල වශයෙන් ප්‍රවේශම් වෙන්න බලනවා. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා මෘතදේහයක් තුලින් රෝගය බෝවෙන බවට සාක්ෂියක් නැත කියලා. එහෙම නැතුව රවුෆ් හකීම් කියන විදියට මෘත දේහයකින් වෛරසය බෝවෙනවා කියන එක මිත්‍යාවක් කියල ලෝක සෞඛ්‍ය සංවිධානය කිසිතැනක කියලා නැහැ. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ඉතා නිවැරදිව කිව්වා මේක අ`ඵත් වෛරසයක් මේ පිළිබඳ නිවැරදි තොරතුරු අපි ගාව නැහැ කියන එක.
මුලින් කිව්වේ සජීවී දෙයක් මත පමණයි මේ වෛරස් එක පවතින්නෙ කියල නමුත් මේ වෙනකොට අනාවරණය වෙලා තිබෙනවා කාඞ්බෝඞ් මත යකඩ මත ප්ලාස්ටික් වල වැඩි කාලයක් මේ වෛරස් එක සජීවීව පවතිනවා කියලා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කිව්වා දැන් සොයාගෙන තියෙනවා කියලා වාතයේ යම් කාලයක් මේ වෛරසය සජීවීව පවතිනවා කියලා.
නමුත් අපිට ආරක්ෂාව සඳහා කළ හැකි ඉහළම දේ ආණ්ඩුවක් වශයෙන් සිදුකළ යුතුයි. අප සෞඛ්‍ය අංශවල අවවාද මත තීරණ ගත යුතුය.
විමල් වීරවංශ මහතා
මම දැක්කා ප්‍රවෘත්ති වලට කොහේ හරි ප්‍රදේශයක හාමුදුරු නමක් කියනවා උන්වහන්සේගේ සහෝදරිය වෙනත් ප්‍රදේශයක ඉස්පරිතාලයක මියගියහම ගම්වල මිනිස්සු සැක කළා ඇයට කොරෝනා හැදිලා කියලා. ඇගේ මෘත දේහය ළඟ තියන කනත්තේ වළලන්න ස්වාමීන් වහන්සේ සහ ඥාතීන් තීරණය කළා. හැබැයි ගම්මු ඒකට ඉඩදුන්නේ නැහැ. මේ කාන්තාව කොරෝනා හැදිල ද මරණයට පත් වුණේ කියලා හරියටම දන්නේ නැහැ. ඒත් ගමේ ජනතාව මේ කාන්තාවගේ දේහය වළලන්න ඉඩ දුන්නේ නැහැ. ඉතිං මම හිතන්නේ වෛද්‍ය විිද්‍යාත්මක පැත්ත වගේම සමාජය මේ ලෙඬේ දිහා බලන ආකල්පය පිළිබඳවත් මෙතන දි සළකන්න ඕනේ. මේක බෞද්ධ ගම්මානයක්. නමුත් ඒ ගමේ අය ඒකට විරුද්ධ වුණේ නෑ. මෙතන තියෙන්නේ ජාතිකත්වය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. භික්ෂූන් වහන්සේගේ සහෝදරිය වළලනවටත් මිනිස්සු විරුද්ධ වුණා. ඒක තමයි ගැමි සමාජය මේ වංසගතයට ප්‍රතිචාර දක්වන විිදිය. මේ සියල්ල සළකා බලලයි මේවා ගැන තීරණ ගන්න ඕනේ. ඒ නිසා ජන සමාජය මේ වසංගතයට ප්‍රතිචාර දක්වන විදිහ පිළිබඳ සියල්ල ගැනම සළකා තීරණයක් ගත යුතුයි.
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය.
මේ විෂබීජය ඉතාම භයානක විසබීජයක්. එහෙම තිබියදී මුලින්ම මරණයට පත්වූ පුද්ගලයා සම්බන්ධයෙන් පාංසකූලය සිදුකර පින් අනුමෝදන් කරන අවශ්‍ය කියලා බෞද්ධාගමේ ඥාතීන් අපෙන් අවස්ථාව ඉල්ලුවා. නමුත් සෞඛ්‍ය තත්ත්වය සළකාබලා ඒ වෙලාවෙ අපි තීන්දුවක් ගත්තා ඒ වගේ දේකට ඉඩ දෙන්න බැහැ කියලා. ලංකාවේ පොලොවෙ වතුර මට්ටම අනෙක් රට වලට වඩා උඩින් තියෙන්නේ. ඒ වගේ තත්වයක් තුළ වසංගතයකින් මරණයට පත්වූ වූ පුද්ගලයෙකුගේ මෘතදේහයක් භූමිදානය කිරීම අවදානමක් ගැනීමක්.
මේක ලෝක සෞඛ්‍ය වසංගතයක් නිසා ආගමික කටයුතු එක්ක මේක කරන්න අමාරුයි. මේ වෛරසය පිළිබඳව තවමත් හරියාකාරව තොරතුරු ඉදිරිපත් වෙලා නැහැ. යම්කිසි පරීක්ෂණ වාර්තා අත්හදා බැලීමේ මට්ටමේ තිබෙනවා. ඇතැම් වාර්තා වෙනස් වෙනවා. ඒ නිසා අපට රජයක් විදියට සෑම විටම ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව සැළකිලිමත් වීමට සිදුවෙනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ
මම විද්‍යාඥයෙක් නෙවෙයි. ඒ නිසා සෑම විටම අප වෛද්‍ය විශේෂඥවරුන්ගේ උපදෙස් අනුව කටයුතු කළ යුතුයි. අපි විශේෂඥයෝ නොවන නිසා ඒ අයට ඉඩ දෙන්න අවශ්‍යයි. ඇදිරිනීතිය දාන අවස්ථාවේ වුණත් අපි ඒ අයගේ උපදෙස් පිළිබඳ සලකා බැලුවා. අද බෞද්ධයන්ටත් මේ තත්ත්වයම ඇතිවෙලා තිබෙනවා. සමහර බෞද්ධයොත් මට කතා කරලා මේ ගැන කියනවා.
ඒ වගේම මුස්ලිම් අයටත් තමන්ගේ ආගමික විදිහට මෘතදේහය අවසන් කටයුතු කරන්න බැරි වෙන එක ගැන ගැටලුවක් තිබෙනවා. නමුත් අපි සෑම විටම සමාජය ගැන සිතිය යුතුයි. මේ තත්වය සමාජයට බලපාන්නේ කොයි ආකාරයෙන් ද කියන එක ගැන අපි අවධානය යොමු කළ යුතුයි. මේ ගැන වෛද්‍ය විශේෂඥයින්ගෙන් විමසල බලල ඒ අනුව කටයුතු කරමු.