කොරෝනා සහ ආර්ථික බලපෑම් හමුවේ වුවද ජනතාවගේ අවශ්‍යතා එකින් එක ඉටු කරනවා - අගමැති

මාර් 19, 2022

    කොරෝනා සහ ආර්ථික බලපෑම් හමුවේ වුවද රටේ ජනතාවගේ අවශ්‍යතා ක්‍රමානුකූලව එකින් එක ඉටු කිරීමට රජය පියවර ගන්නා බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    කොලොන්න, නවනැලිය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කළ චෛත්‍යයේ කොත්වහන්සේ නිරාවරණය කරන අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (18) දින මේ බව සඳහන් කළේය.

    ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සෙත්පිරිත් සඡ්ජායනා මධ්‍යයේ කොත්වහන්සේ නිරාවරණය කළ අතර  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමරුඵලකය නිරාවරණය කරමින් චෛත්‍යයට ප්‍රථම මල් පූජාව පැවැත්වීය.

    අපවත්වී වදාල පූජ්‍ය  රක්වානේ ඥාණීස්සර හිමියන් විසින් ගොඩනැගූ, වසර 73ක පමණ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති පූජ්‍ය කුඹුරුගමුවේ රතනසාර හිමියෝ විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් කරනු ලබන ආගමික, ශාසනික හා සමාජීය සේවය අගයා සමස්ත ලංකා “දහම් සිසිල” පදනම මඟින් ප්‍රදානය කළ “සද්ධර්ම කිර්ති ශ්‍රී ශාසන ශෝභන මධුරභාණී”ගෞරව නාම සන්නස් පත්‍රය අග්‍රාමාත්‍යතුමා  විසින් මෙහි දී උන්වහන්සේට පිළිගන්වනු ලැබීය.

    කොලොන්න-සූරියකන්ද  මාර්ගයේ සංවර්ධන කටයුතු අතර මග ඇණහිට ඇති බැවින් මාර්ගයේ වැඩකටයුතු අවසන්කර දෙන ලෙස  උත්සවයට සහභාගිවී සිටි භික්ෂූන් වහන්සේලා සහ ගම්වැසියෝ අග්‍රාමාත්‍යතුමාගෙන් මෙහිදී ඉල්ලා සිටියහ. ඊට ඒ මොහොතේදීම ප්‍රතිචාර දැක්වූ අග්‍රාමාත්‍යතුමා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධකර ගනිමින් මාර්ගය කඩිනමින් නිමකරන ලෙසට උපදෙස් දුන්නේය.

    ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ, කොලොන්න කලූගල ශ‍්‍රී හේමගිරි පිරිවෙනේ පරිවේනාධිපති අමරපුර අරියවංශ සද්ධර්ම යුක්තික මහා නිකායේ සබරගමු පළාතේ ද්විතීය සංඝනායක පූජ්‍ය විජේරියේ ජිනානන්ද ස්වාමීන් වහන්සේ, පූජ්‍ය මඩුවන්වෙල ශ්‍රී මුදලින්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති මඩුවන්වෙල ශ්‍රී සුගතානන්ද ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙහි වැඩම කර සිටියහ.

    මෙම උත්සව අවස්ථාවට සහභාගී වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  කොලොන්න ප්‍රාදේශිය සභාවට ගොස් ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු පිළිබඳ සොයා බැලුවේය. 

    කොලොන්න ප්‍රාදේශිය සභාවේ සභාපති ටී. රූපසේන මහතා ඇතුළු මන්ත්‍රීවරුන් සමග ගැටලු සාකච්ඡා කළ අග්‍රාමාත්‍යතුමා, ප්‍රාදේශීය සභා ගොඩනැගිලි පරිශ්‍රයේ පැවති දර්ශ කුමාර ලියනගේ සහ දසුන් කුමාර ලියනගේ නිවුන් සොයුරන්ගේ ආලේඛ්‍ය චිත්‍ර ප්‍රදර්ශනය ද නැරඹුවේය.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝන් සෙනෙවිරත්න, අකිල එල්ලාවල, මුදිතා ද සොයිසා, ගයාශාන් නවනන්දන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනී රෝහණ කොඩිතුවක්කු, කොලොන්න ප්‍රාදේශීය සභාවේ සභාපති ටී.රූපසේන මහත්ම මහත්මීහු ඇතුළු බැතිමත්හු පිරිසක් එක්ව සිටියහ.

    Latest News