අනවසර ඉන්දිය ධීවර ගැටලුව අගමැති මෝදිට දන්වනවා...අගමැති

සැප් 26, 2020

    ඉන්දීය ධීවරයන් ට්‍රොලර් යාත්‍රා මගින් අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළුවී මසුන් මැරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ උතුරේ ධීවරයන් මුහුණ පා ඇති ගැටලුව අද (26) දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ පැවැත්වෙන වීඩියෝ සාකච්ඡාවේ දී එතුමාට සෘජුව ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවැසීය.

    ඉන්දීය ධීවරයන් අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු තීරයට පිවිසීම පිළිබඳව සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ පැවැති අවස්ථාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේය.

    කොවිඩ්-19 වසංගත තත්ත්වය ඉන්දියාව තුළ උග්‍රවීමත් සමඟ ඉන්දියානු යාත්‍රා අත්අඩංගුවට ගැනීම සිදුනොවන බැවින් ඉන්දියානු යාත්‍රා වැඩි වශයෙන් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වී අනවසරයෙන් ධීවර කටයුතුවල නිරතවන බව මෙම හමුවේ දී අනාවරණය විය.

    උද්ගතව ඇති මෙම තත්ත්වය හේතුවෙන් ධීවර ජනතාව විවිධ තාඩන පීඩනවලට ලක්වන බවත්, තම රැකියාව කරගෙන යාමේ අර්බුදයකට මුහුණ පා ඇති බවත් උතුරේ ධීවර සමිති නියෝජනය කරමින් පැමිණ සිටි පිරිස අග්‍රාමාත්‍යතුමාට දන්වා සිටියහ.

    මෙම තත්ත්වය හමුවේ අනවසරයෙන් ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ඇතුළුවන ඉන්දීය ධීවරයන්ගේ අර්බුදයට විසඳුමක් බලාපොරොත්තුවෙන් එය ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට දන්වා සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙහිදී අවධාරණය කළේය.

    අනවසරයෙන් ඇතුළුවන ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගෙන නිතිය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව පවත්වාගෙන යන්නැයි අග්‍රාමාත්‍යතුමා ශ්‍රී ලංකා නාවික හමුදාවට මෙහිදී උපදෙස් දුන්නේය.

    මෙයට අමතරව කිලිනොච්චිය ඉරණමඩු වැව ආශ්‍රිතව නීත්‍යානුකූලව ධීවර රැකියාවේ නිරත ධීවරයන්ට සහනයක් ලෙස තහනම් පන්නවල නිරතවන ධීවරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි අග්‍රාමාත්‍යතුමා පොලීසියට දැන්වූයේය.

    ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගිනිගේ, ධීවර අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඉන්දු රත්නායක, වැඩ බලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න, නාවික හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ රියර් අද්මිරාල් වයි.එන්. ජයරත්න මහත්ම මහත්මීන් සහ රාජ්‍ය නිලධාරීන්, උතුරේ ධීවර සමිති නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News