රාජිත සේනාරත්නගේ ඇප අවලංගු කරන ලෙස ඉල්ලූ පෙත්සමේ තීන්දුව ලබන 16

මාර් 10, 2020

    සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන ඇප නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන ප්‍රතිශෝධනය පෙත්සමේ තීන්දුව ලබන 16 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය අද නියෝග කර තිබේ.

    මෙම පෙත්සම පිළිබඳව විභාගය අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ පැවැත්විණ. එහිදී පෙත්සම ඉදිරිපත් කළ නීතිපතිවරයාගේ පාර්ශවය සහ වගඋත්තරකාර රාජිත සේනාරත්න මහතාගේ පාර්ශවයේ නීතිඥවරුන් විසින් දේශන ඉදිරිපත් කිරීම් අවසන් කර ඇත. ඉන්පසුව එම පෙත්සම පිළිබඳව තීන්දු ප්‍රකාශ කිරීම ලබන 16 වනදා සිදු කරන බව මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ.

    නීතිපතිවරයා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් සඳහන් කර සිටින්නේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදීමේ දී අධිකරණය විසින් පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කරුණු කිසිවක් සැලකිල්ලට භාජනය නොකළ බවයි.

    අත්අඩංගුට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව දින කිහිපයක් අධිකරණය මගහැර සැඟවී සිට පසුව කොළඹ, නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලක ඇතුළත් වීමෙන් පසුව රහස් පොලිසිය විසින් සැකකාර රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගත් බවත් මෙලෙස අධිකරණය මගහැර සැඟව සිටි වරෙන්තුකරුවෙකුට ඇප ප්‍රදානය කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ගත් තීරණය ඇප පනතේ විධිවිධානයන්ට පටහැනි බව ද එම ප්‍රතිශෝධන පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

    මෙම සැකකරුට ඇප ප්‍රදානය කිරීමට පෙර මහේස්ත්‍රාත්වරිය විසින් ඔහු රැඳී සිටින රෝහලෙන් කිසිදු වෛද්‍ය වාර්තාවක් කැඳවා විමර්ශනයක් නොකළ බවත් සැකකරුගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මාර්ගයෙන් විමර්ශනයක් පවත්වා වාර්තාවක් කැඳවන ලෙස පැමිණිල්ල විසින් කළ ඉල්ලීමද මහේස්ත්‍රාත්වරිය විසින් බැහැර කළ බවක් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම තුළින් චෝදනා කර ඇත.

    ඒ අනුව අධිකරණය මඟහැර සැඟව සිට රෝහල්ගත වීමෙන් පසුව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ප්‍රදානය කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ගත් තීරණය නීතියට පටහැනි යැයි පෙන්වා දෙන නීතිපතිවරයා එබැවින් එම අධිකරණය හමුවේ පවතින නඩු ගොනුව කැඳවා පූර්ණ විමර්ශනයක් පවත්වන ලෙස ද කොළඹ මහාධිකරණය වෙතින් ඉල්ලා තිබේ.

    එසේම ඉකුත් 30 වනදා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රකාශ කිරීමට යෙදුණු ඇප නියෝගය බල රහිත කිරීමේ තීන්දුවක් නිකුත් කරන ලෙස ද නීතිපතිවරයා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

    Latest News