කටුනායක ගුවන් යානා අංගනයේ ඉදිකිරිීම් මාස 3න් අවසන්;ඇමති ප්‍රසන්න

මාර් 08, 2020

    කටුනායක ගුවන් තොටුපොළේ නව ගුවන් යානා අංගනයේ ඉදිකිරීම් තෙමසක් ඇතුළත අවසන් කරන ලෙස, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාණ කොන්ත්‍රාත් සමාගමට උපදෙස් දී තිබේ. එසේ කිරීමට අසමත් වුවහොත්, ජපන් රජයට පැමිණිලි කර අදාළ සමාගම අසාදු ලේඛනගත කරන බවයි, අමාත්‍යවරයා පවසන්නේ.

    කටුනායක ගුවන්තොටුපොළේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීමේ විශේෂ සාකච්ජාවක දී ප්‍රසන්න රණතුංග මහතා මේ බව අවධාරණය කළේය. සාකච්ජාව පසුගියදා පැවැත්වුණේ, කාර්මික අපනයන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේදී. ගුවන් යානා අංගනය ඉදිකිරීමට වෙන් කර ඇති මුදල, රුපියල් බිලියන 6ක්. එහි ඉදිකිරීම් 2017 වසරේ අප්‍රේල් මාසයේ දී ආරම්භ කර ඇති අතර, 2019 වසරේ ඔක්තෝබර් මාසයේ දී අවසන් කිරීමට නියමිතව තිබිණ. මේ වන විට ඉදිකිරීම් අවසන්ව ඇත්තේ 75%ක ප්‍රමාණයක් පමණි.

    ගුවන්තොටුපොළ සංවර්ධන කටයුතුවලට මෙය විශාල බාධාවක් වී ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා එමගින් දැඩි අලාභයක් සිදුවන බව ද කියා සිටියේය. අමුද්‍රව්‍ය හිඟයක් හේතුවෙන් ඉදිකිරීම් ප්‍රමාද වූ බවයි, කොන්ත්‍රාත් සමාගම පවසන්නේ. ඉදිකිරීම් අධීක්ෂණයට විශේෂ කමිටුවක් ද පත් කර තිබේ.

    Last modified on ඉරිදා, 08 මාර්තු 2020 15:25

    Latest News