අතුරුදන් වූ පොලිස් කොස්තාපල්ගේ සිරුර පන්නලින් හමුවේ

පෙබ 21, 2020

    කඩවත පොලීසියට අනුයුක්තව සේවය කරමින් සිටියදී අතුරුදන්වූ පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර පන්නල, වේරහැර ප්‍රදේශයෙන් සොයා ගෙන ඇති බව වාර්තාවේ.

    පොලිස් කොස්තාපල්වරයාගේ ඝාතනයට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

    කඩවත පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටියදී අදාළ පොලිස් කොස්තාපල්වරයා අතුරුදන් වූ බවට පසුගිය 17 වනදා තොරතුරක් ලැබී තිබේ. ඒ අනුව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇත. විමර්ශනවල දී අනාවරණය කරගත් තොරතුරු මත අද(21) දින පන්නල පොලිස් වසමේ වේරහැර, බුළුගොඩ ප්‍රදේශයේ ඝාතනය කර තිබියදී පැහැරගත් පොලිස් නිලධාරියාගේ මෘත ශරීරය සොයා ගෙන තිබේ.

    මෙලෙස ඝාතනය වී ඇත්තේ 37 හැවිරිදි කඩවත පොලීසියට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් රියදුරුවරයෙකි. ඔහු වීරකැටිය ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන බව වාර්තා වෙයි.

    සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරු හෙට දින පන්නල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

     

    Latest News