දඹුල්ල-මාතලේ මාර්ගයේ අනතුරකින් දරුවෙකු මරුට; 40කට තුවාලයි

පෙබ 21, 2020

    දඹුල්ල-මාතලේ A-9 ප්‍රධාන මාර්ගයේ නාලන්ද ප්‍රදේශයේදී පුදගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් තවත් විශාල පිරිසකට බරපතළ තුවාල සිදුව තිබේ.

    අද(21) උදෑසන මෙම අනතුර සිදුව ඇති අතර බස් රථවල සිටි 50 දෙනෙකු පමණ ඉන් තුවාල ලබා ඇත. එයින් 40 දෙනෙකු පමණ රෝහල්ගත කර ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.

    අදාළ අනතුරින් මිය ගොස් ඇත්තේ 12 හැවිරිදි කුඩා දරුවෙකි.

    මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් මේ වන විට නාලන්ද, දඹුල්ල සහ මාතලේ රෝහල්වලට ඇතුලත් කර තිබේ.

    අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තුවාලකරුවන් හත්දෙනෙකු මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යවා ඇති අතර තුවාලකරුවන් පිටත් කර හැරීමට අවට රෝහල් සුදානම් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

    දඹුල්ල, විහාර හන්දිය ප්‍රදේශයේ සිට ශ්‍රී පාද වන්දනා චාරිකාවක් සඳහා යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් හා මහනුවර සිට කදුරුවෙල හා මඩකලපුව යමින් තිබු බස් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලීසිය වැඩිදුර පරික්ෂ සිදුකරයි.

    Latest News