මෝදිට ප්‍රාන්ත ආණ්ඩු 03ක බලය අහිමිවේ

දෙසැ 12, 2018

    අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්‍ෂයට, ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත ආණ්ඩු 3ක පාලන බලය අහිමි වෙයි.

    2014 වසරේ අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු, මෝදිගේ පක්‍ෂය ලැබූ විශාලතම මැතිවරණ පරාජය මෙයයි. පසුගිය සතියේ පැවති ප්‍රාන්ත මැතිවරණයේ දී, රාජස්තාන්, චතිස්ගාර් සහ මධ්‍ය ප්‍රදේශ් යන ප්‍රාන්තවල බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට, රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් කොංග්‍රසය ප්‍රමුඛ සන්ධානය සමත්ව තිබේ.

    ආසන 90කින් යුත් චතිස්ගාර් ප්‍රාන්තයේ, ආසන 68කම බලය හිමිවී ඇත්තේ කොංග්‍රසයටයි. බී.ජේ.පී.යට එහි හිමිව තිබෙන්නේ, ආසන 15ක් පමණි. මන්ත්‍රී ආසන 199කින් සමන්විත රාජස්තාන් ප්‍රාන්තයේ, ආසන 99ක් කොංග්‍රසයට හිමිවිය. බී.ජේ.පී.යට හිමිවූ ආසන ගණන 73කි. කොංග්‍රසය, ආසන 114ක් ලබා සිටින මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ බී.ජේ.පී. යට හිමිවී ඇත්තේ ආසන 108ක් පමණි. මැතිවරණය පැවති තෙලගානා සහ මිසොරාම් ප්‍රාන්තවල බලය හිමිකර ගෙන සිටින්නේ ප්‍රාදේශීය දේශපාලන පක්‍ෂ දෙකක් විසිනි.

    ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය මහ මැතිවරණයට පෙර, පාලක පක්‍ෂය ලැබූ මේ පරාජය, මෝදිගේ ජනප්‍රියත්වය පහළ යාමක් ලෙස විශ්ලේෂකයෝ සලකති. පරාජය බාරගන්නා බව සඳහන් කරන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, එය සංවර්ධනය වේගවත් කිරීමට යොදාගන්නා බව ද කියා සිටී.  

    Last modified on බදාදා, 12 දෙසැම්බර් 2018 18:26

    Latest News