ශිෂ්‍යත්ව කඩ ඉයිම් ලකුණු නිකුත්වේ

දෙසැ 12, 2018

    2018 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්‍ෂණයේ ප්‍රතිඵල මත, ලබන වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ දිවයිනේ එක්, එක් පාසල්වලට අදාළ කඩ-ඉම් ලකුණු නිකුත් වී තිබේ.

    අධ්‍යාපන අමාත්‍යාංශය අද නිකුත් කළ නිවේදනයක ඒ බව දැක්වේ. සමාන්තර පන්ති 3ක් හෝ ඊට වැඩි පන්ති සංඛ්‍යාවක් සඳහා ශිෂ්‍යත්වධාරීන් යොමු කරන බාලක පාසල් අතරින්, පළමු ස්ථානයට පත්ව ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයයි. ඒ ලකුණු 187ක් සටහන් කරගනිමිනි. කොළඹ ආනන්ද විද්‍යාලය ලකුණු 185ක් හා කොළඹ නාලන්දා විද්‍යාලය ලකුණු 184ක් වශයෙන් පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථානයේ සිටී. සමාන්තර පන්ති 3ක් හෝ ඊට වැඩි පන්ති සංඛ්‍යාවක් සඳහා ශිෂ්‍යත්වධාරීන් යොමු කරන බාලිකා පාසල් අතරින්, කොළඹ විශාඛා විද්‍යාලය ප්‍රථම ස්ථානයට පත්වෙයි.

    ඒ, ලකුණු 189ක් ලබාගනිමිනි. දේවි බාලිකා විද්‍යාලය ලකුණු 185ක් හා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය ලකුණු 182ක් ලබා ගනිමින් දෙවන හා තෙවන ස්ථානයේ සිටී. මිශ්‍ර පාසල් අතරින්, ප්‍රථම ස්ථානයේ සිටින්නේ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයයි. ඒ ලකුණු 182ක් සනිටුහන් කරමිනි. හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය, වීරකැටිය රාජපක්‍ෂ මධ්‍ය මහා විද්‍යාලය සහ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය ලකුණු 179ක් ලබාගනිමින් දෙවන, තෙවන හා සිව්වන ස්ථානවලට පත්ව ඇත.

    එක් සමාන්තර පන්තියක් සඳහා ශිෂ්‍යත්වධාරීන් යොමු කරන බාලක පාසල් අතරින් මහනුවර ධර්මරාජ විද්‍යාලය ලකුණු 186ක් ලබා පෙරමුණේ සිටී.ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය ලකුණු 185ක් ලබාගනිමින් දෙවන ස්ථානයට නම් කොට ඇති අතර, මහනුවර කිංස්වුඩ් විද්‍යාලය හා කුරුණෑගල ශාන්ත ආනා විදුහල ලකුණු 184ක් ලබා ගනිමින් තෙවන හා සිව්වන ස්ථානවලට පත්ව සිටී.

    සමාන්තර පන්තියක් සඳහා ශිෂ්‍යත්වධාරීන් යොමු කරන බාලිකා පාසල් අතුරින්, ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලය ලකුණු 184ක් ලබා පෙරමුණට පත්ව ඇත. කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලය ලකුණු 183ක් ලබා දෙවන ස්ථානයට පත්ව ඇති අතර, ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය ලකුණු 181ක් ලබා තෙවන ස්ථානයට පත්ව ඇත.

    එක් සමාන්තර පන්තියක් සඳහා ශිෂ්‍යත්වධාරීන් යොමු කරන මිශ්‍ර පාසල් අතුරින් බුත්තල දුටුගැමුණු මධ්‍ය මහා විද්‍යාලය ලකුණු 175ක් ලබා පෙරමුණේ සිටී. ගාල්ල, සිරිධම්ම විද්‍යාලය ලකුණු 174ක් ලබා, දෙවන ස්ථානයට පත්ව ඇති අතර, අනුරාධපුර නිවන්තකචේතිය මහා විද්‍යාලය ලකුණු 174ක් ලබා තෙවන ස්ථානයට පත්ව ඇත.

    Last modified on බදාදා, 12 දෙසැම්බර් 2018 19:15

    Latest News