රනිල් අගමැති වීමේ කැමැත්ත ජනපතිට යැවේ

දෙසැ 12, 2018

    පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ විශ්වාසය ඇති බවට ඉදිරිපත් කරන ලද යෝජනාව ස්ථාවර නියෝග අනුව සම්මත වු බව ජනාධිපතිතුමා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

    අද විවාද කිරීමෙන් පසු, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 47(2) (ආ) යටතේ විද්‍යුත් ඡන්ද සටහන් කිරීමේ යන්ත්‍රය භාවිතයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 117 කගේ බහුතර ඡන්දයක් හිමි වු බව කථානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(3) හි අනුව දෙසැම්බර් 04 වැනිදා න්‍යාය පුස්තකයේ දින නියමයක් නොමැති යෝජනා යට‍තේ සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල, ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න, ගරු පලනි දිගම්බරම්, මංගල සමරවීර, රිසාඩ් බදියුදීන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා වශයෙන් පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිමයෙන් ඇති බවට වු යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කර තිබිණ. ඒ අනුව දෙසැම්බර් 05 වැනිදා කථානායක කාර්යාලයේ පැවති රැස්වීමේදී එකඟ වූ පරිදි සභාවේ අනුමතිය අනුව අද පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට එකඟවි තිබිණ.

     

     ---------------------------------------------------

    ප්‍රවෘත්ති නිවේදනයයි

     පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(3) හි විධිවිධාන ප්‍රකාරව 2018 දෙසැම්බර් 04 වැනි අඟහරුවාදා නිකුත් කරන ලද පාර්ලිමේන්තුවේ අංක 1 දරන න්‍යාය පුස්තකය හා සම්බන්ධ 3 වැනි පරිපූරක‍යේ දින නියමයක් නොමැති යෝජනා පිළිබඳ දැනුම් දීම යට‍තේ පළ කරන ලද, ගරු සජිත් ප්‍රේමදාස, ගරු රවී කරුණානායක, ගරු අකිල විරාජ් කාරියවසම්, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල, ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න, ගරු පලනි දිගම්බරම්, ගරු මංගල සමරවීර, ගරු රිසාඩ් බදියුදීන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී, ගරු රනිල් වික්‍රමසිංහ මහතා හට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ක්‍රියාකිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට ඉදිරිපත් කරන ලද යෝජනාව, දැනුම්දෙන ලද දින සිට සම්පූර්ණ දින 5ක් ඉකුත් වීමෙන් පසුව සහ 2018 දෙසැම්බර් 05 වැනි බදාදා 9.30ට කථානායක නිල කාමරයේදී පවත්වන ලද රැස්වීමේදී එකඟ වූ පරිදි එදින සභාවේ අනුමතිය අනුව 2018 දෙසැම්බර් 12 වැනි බදාදා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට එකඟ වන ලදී.

    එබැවින් එදින සභාවේ අනුමතිය ප්‍රකාරව, පාර්ලිමේන්තු මන්ත්‍රී, ගරු රනිල් වික්‍රමසිංහ මහතා හට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ක්‍රියාකිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට ඉදිරිපත් කරන ලද යෝජනාව 2018 දෙසැම්බර් 12 වැනි බදාදා, එනම් අද දින පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලට අනුකූලව විවාද කිරීමෙන් අනතුරුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 47(2) (ආ) විධිවිධාන ප්‍රකාරව විද්‍යුත් ඡන්ද සටහන් කිරීමේ යන්ත්‍රය භාවිතයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් එකසිය දාහත් දෙනෙකුගේ බහුතර ඡන්දයෙන් මෙකී විශ්වාසය ප්‍රකාශ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී යථා පරිදි සම්මත කරන ලද බව කථානායක නිල මාධ්‍ය ඒකකය වශයෙන් ප්‍රකාශ කර සිටින අතරම මේ පිළිබඳව ගරු කථානායකතුමා විසින් අතිගරු ජනාධිපතිතුමා වෙත ලිඛිතව දන්වා තිබෙන බවත්, සඳහන් කරමු.

    කථානායක මාධ්‍ය ඒකකය

    2018.12.12

     

    Last modified on බදාදා, 12 දෙසැම්බර් 2018 19:52

    Latest News