අපනයන සැකසුම් කලාපවල යටිතල පහසුකම් සංවර්ධනයට රු.මිලියන 2,287,677 ක්

පෙබ 17, 2020

    අපනයන සැකසුම් කලාප වල යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන 2,287,677 ක මුදලක් වෙන් කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ආයෝජන මණ්ඩලය විසින් මෙම මුදල වෙන් කර තිබේ. දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 628,264 ක් ද පසුගිය වසරේ අනුමත වූ ව්‍යාපෘති සදහා රුපියල් මිලියන 400,551 ක් හා නව ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 1,258,862 ක් මෙලෙස වෙන් කෙරේ.

    දිවයින පුරා ක්‍රියාත්මක අපනයන සැකසුම් කලාප සංඛ්‍යාව 15 කි. කටුනායක, බියගම, කොග්ගල, නුවර, මීරිගම, මල්වත්ත, සීතාවක, මිරිජ්ජවිල, වතුපිටිවල, හොරණ, පොල්ගහවෙල, මාවතගම, වගවත්ත, වගවත්ත 2 හා බිංගිරිය එම අපනයන සැකසුම් කලාපයි.

    මෙම අපනයන සැකසුම් කලාප වල කර්මාන්තශාලා 273 ක් පිහිටා ඇති අතර 137,478 ක් සේවය කරයි.මේ වසරේ දී ආයෝජන මණ්ඩල ප්‍රාග්ධන අයවැයෙන් යෝජනා කර ඇති ප්‍රාග්ධන ව්‍යාපෘතියක් වන්නේ සීතාවක ආයෝජන කලාපයේ පොදු අප ජල පවිත්‍රාගාරය සංවර්ධනය කිරීමයි.ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 564කි. ඊට අමතරව හොරණ අපනයන සැකසුම් කලාපයේ දී සංවර්ධන ව්‍යාපෘති රැසක් සදහා ප්‍රතිපාදන වෙන් කර තිබේ.

    අපජල පවිත්‍රාගාරය බලශක්ති ඉතිරි කිරීමේ ආලෝකකරණ පද්ධති භාවිතා කරමින් ආලෝක පද්ධති නවීකරණය, ඉඩම් සංවර්ධනය හා මාර්ග ආශ්‍රිත වැටවල් ප්‍රතිසංස්කරණය, ජල සැපයුම් වැනි යටිතල පහසුකම් සංවර්ධන කටයුතු ඊට ඇතුළත්ය. හොරණ අපනයන සැකසුම් කලාපයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 250කි.

    මීට අමතරව කටුනායක, බියගම, අත්තනගල්ල, මල්වත්ත, වතුපිටිවල, මීරිගම වැනි අපනයන සැකසුම් කලාප වලද මාර්ග සංවර්ධනය, විථී ලාම්පු සවි කිරීම, පානීය ජල පහසුකම් වැඩි දියුණු කිරීම වැනි කටයුතු ක්‍රියාත්මක කරන බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

    Last modified on සදුදා, 17 පෙබරවාරි 2020 13:29

    Latest News