සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ගැන රජය යළි කරුණු අධ්‍යයනය කරන බව නීතිපති දන්වයි

පෙබ 06, 2020

    පසුගිය රජය සමයේ අත්සන් කරන ලද සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව රජය යළි කරුණු අධ්‍යයනය කිරීමක් සිදුකරන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

    සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු පාර්ශව අටක් ඉදිරිපත් කළ පෙත්සම් අද විජිත් මළල්ගොඩ, එල්ල. ටී.බී. දෙහිදෙනිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ
    විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

    එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ එන්.විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව රජය යළි කරුණු අධ්‍යයනය කිරීමක් සිදුකරන බව දැනුම් දුන්නේය.

    ඒ අනුව අදාළ පෙත්සම් ජූලි මස 13 වැනිදා යළි කැඳවීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයාට නියම කළේය.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් රජය සමයේ සිංගප්පූරුව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි ආකාරයෙන් අත්සන් කර තිබෙන බවයි.

    එම ගිවිසුම අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුවේ අනුමැතියක් ද ලබාගෙන නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ තුළින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන හෙයින් එය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 පෙබරවාරි 2020 13:12

    Latest News