2019/2020 මහ කන්න‍යේ රජය, වී මිලදී ගැනීමේ වැඩසටහන

පෙබ 02, 2020

    2019-2020 මහ කන්නයේ රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහනට, ආරම්භක පියවර රුපියල් මිලියන 3,830ක මුදලක් වී අලෙවි මණ්ඩලයට හා දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබාදීමට පියවර ගෙන තිබේ.

    වී කිලෝ ග්‍රෑම් 1ක්, රුපියල් 50ක අවම මුදලකට මිල දී ගැනීම, මේ යටතේ සිදුවෙයි. ගොවීන්ට විශේෂ වරප්‍රසාදයක් ලෙස, තෙතමනය සහිත වී ප්‍රථම වරට රජය විසින් මිල දී ගැනීම මෙහිදී සිදුවෙයි. මීට ඉහත කන්නවල දී, රජය මගින් මිල දී ගනු ලැබුවේ තෙතමනය 14%ක් හෝ ඊට වඩා අඩු වී නම් පමණයි. මෙවර උපරිම තෙතමනය 22% දක්වා ප්‍රමිතියෙන් යුතු වී මිල දී ගැනීමටයි, රජය පියවර ගෙන ඇත්තේ.

    පසුගිය වසරේ නාඩු වී කිලෝ ග්‍රෑම් 1ක්, රුපියල් 38කට මිලදී ගැනිණ. සම්බා වී කිලෝ ග්‍රෑම් 1ක් මිලදී ගනු ලැබුවේ රුපියල් 41ටයි. මෙවර සියලුම වර්ගයේ වී සඳහා ඉහළ මිලක් ලබාදෙමින්, කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 50කට රජය විසින් මිලදී ගනු ලබයි. වී අලෙවි මණ්ඩලය සතු ගබඩා, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව හා අනෙකුත් රාජ්‍ය ආයතන සතු ගබඩා මෙන්ම, සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සතු ගබඩා පහසුකම් ද වී එක්රැස් කරගැනීමට සූදානම් කර තිබේ. ඒ අනූව, විශාල වී පරිමාණයක් ගබඩාකළ හැකි බවයි, මුදල්,ආර්ථික සහ ප්‍රතිපත්ති සම්පාදන අමාත්‍යාංශය පවසන්නේ.

    Last modified on ඉරිදා, 02 පෙබරවාරි 2020 17:15

    Latest News