වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්න සූදානම්

අගෝ 10, 2023

    වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීම සඳහා සූදානම් නමුත් දැන් ගොවීන් එම මණ්ඩලයට වී ලබා නොදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

    වී මිල දී ගැනීම සඳහා ගොවි භාරකාර අරමුදලෙන් සියයට 08 පොලියක් යටතේ රුපියල් මිලියන 500ක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා. ඒ යටතේ වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගැනීම ආරම්භ කළා.

    අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුව වී අලෙවි මණ්ඩලය විසින් ණය පදනම යටතේ ලබාගත් මුදල වී අලෙවි කර ගෙවීමට කටයුතු කළ යුතුව ඇති අතර එම මණ්ඩලය ලාභ උපයා පෙන්විය යුතුවනවා.

    වී අලෙවි මණ්ඩලය පසුගිය වසර ගණනාවක් තිස්සේ රාජ්‍ය බැංකුවලින් ගත් ණය මුදල අනුව තවත් රුපියල් මිලියන 24,000ක මුදලක් ගෙවීමට තිබේ.

    මීට අමතරව වී මිල දී ගැනීම සඳහා රාජ්‍ය බැංකුවකින් තවත් රුපියල් මිලියන 750ක ණය මුදලක් ලබා ගැනීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

    ඒ අනුව, දිස්ත්‍රික්ක 10ක ගබඩා 39ක් විවෘත කර වී මිල දී ගැනීමේ කටයුතු ආරම්භ කළත්, මේ වනවිට ගොවීන් පවතින නියඟය තත්ත්වය සමග වී මිල ඉහළ යා හැකි බැවින් වී අලෙවි මණ්ඩලයට වී ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බවද අමාත්‍යවරයා පවසනවා.

    මේ නිසා හම්බන්‌තොට දිස්ත්‍රික්කයේ වී මිල දී ගැනීම සඳහා විවෘත කළ ගබඩා 06ක් මේ වනවිට වී නොලැබීම නිසා වසා දැමීමට පියවර ගත් බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

    නියඟය තත්ත්වය ලබන යල කන්නය තෙක් පවතීයැයි ඇතැම් අංශ මගින් ප්‍රකාශ වී ඇති බැවින් තම වී ඉහළ මිලකට අලෙවි කර ගැනීම සඳහා ගොවීන් මේ වනවිට වී ගබඩා කර ඇති අතර ඔවුන් වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 95කට වඩා වැඩි මිලකට අලෙවි කර ගත හැකි වෙතැයි අපේක්ෂාවෙන් පසුවන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

    මේ වනවිට රට තුළ හදිසි ආහාර අර්බුධයක දී භාවිතා කිරීම සඳහා අමතර සහල් සංචිතයක් රජය සතුව නොපවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

    මුල් අවස්ථාවේ සිටම වී අලෙවි මණ්ඩලය මගින් වී අලෙවි මිල දී ගත්තා නම් වී සංචිතයක් රජය සතුවන නමුත් මේ වනවිට එවැනි වී සංචිත නොමැති බවයි, ඔහු පවසන්නේ.

    එමෙන්ම, වී මිල දී ගැනීමට මුදල් ලබා දෙන ලෙස ඉල්ලීම් කරමින් අමාත්‍ය මණ්ඩලයට, අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 09ක් කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා.

    පාර්ලිමේන්තු පරිශ්‍රයේ ඊයේ (09) පැවැති කෘෂිකර්ම උපදේශක කාරක සභා රැස්වීම අවස්ථාවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

    Latest News